මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළ දී කඩුවක් සහිතව පෙරහර මාර්ගයට ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
පෙරේදා (25) රාත්‍රී 10.30ට පමණ මහනුවර ඇසළ පෙරහර විශේෂ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමක දී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සම්පත් උදය කුමාර නැමැත්තෙකි. ඔහු වර්ෂ 2016 දී හෙරොයින් මත්කුඩු ලඟ තබාගැනීමේ සිද්ධියකට අත් අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන අංශ කියයි.
අඩි දෙකක් පමණ දිග මෙම කඩුව බෑගයක දමාගෙන සැකකරු පිටේ එල්ලාගෙන සිට ඇත. කඩුව කුමක් සඳහා රැගෙන ආවේද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ දළදා වහන්සේට පූජා කිරීම පිණිස එය මිතුරෙකු විසින් තමන්ට ලබාදුන් බවය.
සැකකරු ඊයේ (26) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 05 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.