රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දිකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය.
මෙම රුසියානු ආක්‍රමණය හෙළා දකිමින් රටවල් 141ක් සිය ඡන්දය ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාව පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි නොකර සිටියේය. ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි රටවල් ගණන 35කි. බහුතරය ආසියානු රටවල්ය. ඉන්දියාව, පාකිස්ථානය, චීනය, දකුණු අප්‍රිකාව ද ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි රටවල් අතර විය.
රටවල් පහක් පමණක් හෙළා දැකීමේ යෝජනාවට විපක්ෂව ඡන්දය පාවිච්චි කළහ. එම රටවල් වූයේ රුසියාව, බෙලරුසියාව, එරිත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාවය.
රුසියාව සිය ආක්‍රමණය වහාම නතර කළ යුතු බවත්, රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත් විය යුතු බවත්, එක්සත් ජාතීන්ගෙ ප්‍රඥප්තියට අනුකූලව රුසියාව කටයුතු කළ යුතු බවත් සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩලයට අදාල යෝජනාව ඉදිරිපත් විය.,







