චමින්ද සිල්වා –
ජාතික ගීය විකෘති කර ගායනා කළ බව කියන ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද (02 දා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ලවීමත් සමග අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝකට දැනුම් දී ඇත.
ඒ අනුව ලේකම්වරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පෙරේදා (31 දා) දැනුම් දී තිබුණු අතර උමාරා සිංහවංශට අමාත්‍යාංශයට අද (02 දා) පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිත බවත් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
තනුව, ගායනය, පදමාලාව වැනි කරුණු ගැන නිසි අවබෝධයක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියා සහය කරගන්නා බවද ඔහු කීය.
විමර්ශනයෙන් පසු අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදීමටත් ඉන් පසු නීතිපති උපදෙස් ලබා ගැනීමටත් අදහස් කරගෙන සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. – දිවයින







