දිනසේන රතුගමගේ –
උතුරේ නටබුන් වී ගිය බෞද්ධ සිද්ධස්ථාන සදහා විහාරාධිපති හිමිවරුන් පත් නොකොට එම ස්ථානවල පූර්ණ වගකීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතට පත් කළ යුතු බව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක සියඹලාගස්වැවේ විමලසාර නා හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ කුරුඳුමලේ විහාරය හෙවත් කුරුන්දිය විහාරයේ අර්බූදය සම්බන්ධයෙන් ජනතාව හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට ජාතික සමගිය සඳහා වූ සර්ව ආගමික ජනතා එකමුතුව විසින් වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේදී ඊයේ (21) පැවති සාකච්ඡාවකදීය.
තව දුරටත් අදහස් දැක් වු උන් වහන්සේ කියා සිටියේ යුද සමයේදී මෙම පලාතට කිසිදු නෑකමක් සම්බන්ධයක් නොමැති මහා සංඝ රත්නය සාමය එළඹීමෙන් පසුව පැමිණ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන සඳහා අයිතිවාසිකම් කීමත් විහාරාධිපති හිමිවරුන් ලෙස පත් වී විහාරස්ථාන සදහා අධික ඉඩම් ප්‍රමාණයක් අත් පත්කර ගැනීමට යාමත් නිසා සිංහල හා දෙමළ ජනතාව අතර විශාල ජාති හා ආගම් හේදයක් ඇති වී තිබෙන බවයි.
වහාම මේ පිළිබඳව රජය මැදිහත් වී ස්ථිර තීරණයක් ගත යුතු බවත් එහිදී උතුරේ නටබුන් සහිත සිද්ධස්ථානවල අයිතිය හා බාරකාරත්වය පුරා විද්‍යා නිලධාරීන්ගේ අතට පත් කළ යුතු බවත් උන් වහසේ මෙහිදී ප්‍රකාශ කළහ.
මේ අවස්ථාවේදී කතා කළ උතුරු නගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ විහාරාධිපති මුවඇටගම ආනන්ද නාහිමියන් ප්‍රකාශ කළේ දෙමළ වැසියන් බෞද්ධාගමට කිසිසේත්ම විරුද්ධ නොමැති බවයි. එය එසේ වූවා නම් යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මුළු උතුරු පලාතේම තිබූ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කොට දැමීමට අවස්ථාව තිබූ බවද උන්වහන්සේ මෙහිදී පැවසූහ.
නමුත් දෙමළ වැසියන් බෞද්ධ සිද්ධස්ථානවලට පැමිණෙන විට ඔවුන්ගේ ගමන වළක්වා ලීමට බෞද්ධ ජනතාව හෝ සංඝ රත්නය කටයුතු නොකළ යුතු බව කී ආන්නද හිමියෝ කුරුදුමලේ විහාරයද බෞද්ධයින් හා හින්දූන් එකට ගොස් වන්දනාමාන කරන ශ්‍රී දළදා මාලිගය, ශ්‍රී පාදස්ථනය නාගදීපය වැනි සිද්ධස්ථාන මෙන් ආරක්ෂා කිරීම වැදගත් බව කීහ.
නාගදීප විහාරයේ විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියන් පවසුවේ දෙමළ වැසියන්ට අයත් ඉඩම්වල බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීම වහාම නතර කළ යුතුව ඇති බවයි.
එමෙන්ම බලහත්කාරයෙන් උතුරේ අලුතින් විහාරස්ථාන ඉදි කිරීම නොකළ යුතු බවද උන්වහන්සේ මෙහිදී කියා සිටියහ.
මේ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති වන බව යාපනයේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන කීපයක් උදාහරණ යට ගනිමින් උන්වහන්සේ කියා සිටියහ.
පෙරියඋලුක්කුලමේ සුමනතිස්ස සවාමීන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ බෞද්ධයින් නොමැති උතුරේ නටබුන් සහිත ප්‍රදේශ පුරා විද්‍යා පනතට අනුව එම නිලධාරීන් විසින්ම සුරැකිය යුතු බවයි.
නමුත් හිටපු පුරා විද්‍යා කොමසාරිස් ජනරාල්වරු පවා මේ ප්‍රශ්නය සිංහල බෞද්ධ කෝණයකින් හා ජාති මාමකත්වයකින් පමණක් බැලීම නිසා අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම සාකච්ඡාවට හින්දු කතෝලික ඉස්ලාම් යන සියළු ආගම් වලට අයත් ආගමික නායකයෝද හින්දු බෞද්ධ සංගමයේ විශාල පිරිසක්ද සහභාගී වූහ.