මේ වනවිට සංකේත වැඩවර්ජනයක නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් සමග අද (14) සවස රාජ්‍ය ඇමතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි පිළිතුරු නොලැබුනහොත් ලබන 26 දා සිට ක්‍රියාත්මකවන පරිදි දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (14) ප්‍රකාශ කළේය.
ඔවුන් කියා සිටින්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් සම්බන්ධ ක්‍රියාවලිය දුම්රිය පරිපාලනය විසින් අත්තනෝමතිකව අත්හිටුවා ඇති බවය.
ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24කට සේවයෙන් ඉවත් වී සිටියත් දුම්රිය ගමනාගමනය බාධාවකින් තොරව අද දින සිදුවිය.
මේ පිළිබඳව කළ විමසීමක දී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ යම් හෙයකින් මේ වර්ජන ක්‍රියාවලිය හේතුවෙන් දුම්රිය ගමනා ගමනය ඇණහිටින්නේ නම් ඊට ලංකා ගමනා ගමන මණ්ඩලය හා එක් වී අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට සාකච්ඡා කර ඇති බවය.







