දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලාංකික ධීවරයින් අතර ඇති වී තිබෙන ගැටලු සාකච්ඡා කිරීම පිණිස දෙරටේම ධීවර නායකයින් අතර සාකච්ඡාවක් ආරම්භ කරණ ලෙස රාමේස්වරන් ධීවර සමීති නායකයින් තමිල්නාඩුවේ ධීවර ඇමතිනී අනිතා රාධක්‍රිෂ්ණන් ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
රජයන් දෙක අතර නිල වශයෙන් සාකච්ඡා අසාර්ථක වන්නේ ධීවරයින්ගේ ගැටලු හා ඔවුන් සාගරය මැද එදිනෙදා මුහුණ පාන ගැටලු ගැන දෙපාර්ශ්වයම කරුණු සැලකිල්ලට නොගැනීම නිසා බව රාමේස්වරන් ධීවර සංගමය පෙන්වා දෙයි.
මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින් විසිපස් දෙනෙකුගේ හා ඉන්දියාවේ ධීවරයින් හතලිහකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුබිමක් සකස් කර දෙන ලෙස ඉල්ලා තිබේ.
එම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ හෝ කච්චතීව් දූපතේ පැවැත්වීම වඩා උචිත බව රාමේස්වරන් ධීවර සමීති නායකයෝ පෙන්වා දී ඇත.
ඊයේ (16) චෙන්නායි නුවර උත්සවයකට පැමිණි අවස්ථාවේදී මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය අමාත්‍යවරියට බාර දී රාමේස්වරන් ධීවර නායකයින් හය දෙනෙකු අමාත්‍යවරිය සමග පැය බාගයක පමණ කලයක් සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
ධීවර සංගම් නියෝජිතයන් අමාත්‍යවරියට පෙන්වා දී ඇත්තේ වසර 2500 කට වඩා වැඩි කාලයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර උතුරු මුහුදු කලාපය ආශ්‍රිතව මසුන් මැරීමේ කටයුතු සිදු වූ අතර එය අතීතයේදී පුරාණ චාරිත්‍රයක් වශයෙන්ද පැවති බවයි.
කෙසේ හෝ දෙරටේම ධීවර නායකයින් අතර සාකච්ඡාවක් ආරම්භ වුවහොත් ධිවර කර්මාන්තයේදී බිම් මට්ටමේ ඇති ප්‍රශ්න හා ගැටලු රැසකට විසදුම් සොයා ගත හැකි බවද රාමේස්වරන් ධීවර නායකයින් අමාත්‍යවරියට පෙන්වා දී ඇත.







