දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු නන්වාලීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ගයන්ට ඉන්දියාව ඇතුලු බොහෝ දෙනෙකු විරුද්ධ වූවත් තමන් ධීවර අමාත්‍යවරයා වශයෙන් මේ රටේ ධීවරයාගේ යහපත වෙනුවෙන් ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරණ සෑම ක්‍රමවේදයක්ම අනුගමනය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (16) යාපනයේදී පැවසීය.
යාපනයේ පිහිටි ඊ.පී.ඩී.පී.ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ධීවර අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
”අපි මේ රටේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරනවා. චීනය පිලිපීනය වැනි රටවල් තම සාගර ප්‍රදේශවල මත්ස්‍ය සම්පත වැඩි කර ගැනීම සඳහා නොයෙක් තාක්ෂණික ක්‍රම අනුගමනය කරනවා. යුරෝපය ඇතුලු රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් ඉතාම සාර්ථකව මේ පැරණි බස් රථ මුහුදේ ගිල්වීමෙන් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා ගන්නවා.
මම නාවික හමුදාවේ සහය ඇතිව පැරණි බස් රථ උතුරු ගැඹුරු මුහුදේ ගිල්වන ලද්දේද මේ අරමුණ සාර්ථක කර ගැනීමටයි. මේ වැඩ පිළිවෙළ මෙතනින් නතර වෙන්නේ නෑ. අපි දැන් උත්සාහ කරන්නේ පැරණි දුම්රිය මැදිරිත් මහා සාගරයේ ගිල්වා මසුන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටයි.
ඉන්දියාව මේ ක්‍රියාවම සිදු කරනවා. නමුත් උතුරු මුහුදේ මේ නව වැඩ පිළිවෙලවළ ක්‍රියාත්මක කරණ කොට ඉන්දියාව විරුද්ධ වෙනවා. මේකට ප්‍රධානතම හේතුව වන්නේ ඉන්දියාවේ ධීවරයින්ට උතුරු මුහුදු කලාපයේ වර්ධනය වන මත්ස්‍යයින් කොල්ලකෑමට අවස්ථාවක් නොලැබෙන නිසයි. නමුත් අපි මේ වසර ඇතුළත ඉන්දීය ධීවරයින්ගෙන් ශ්‍රී ලංකාවේ ධීවරයින්ට සිදුවන හිරිහැර අවම කොට ඔවුන්ගේ පැමිණීම නතර කිරීමට ගන්නා පියවර කිසිසේත්ම නතර කරන්නේ නෑ. යනුවෙන්ද ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියේය.
ධීවර අමාත්‍යංශය විසින් උතුරු මුහුදේ සිදු කරණු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘති වලට විරෝධය පලකිරීම සදහා ඉන්දියාවේ රාමේස්වරන් ධීවරයෝ රාමේස්වරන් බස් නැවතුම් පල ඉදිරිපිටදී ඊයේ (16) විරෝධතාවයක නිරත වූහ