මෙරට මුහුදු සීමාව තුළ ධීවර කොල්ලයේ යෙදුන ඉන්දීය ධීවර කොල්ලකරුවන්ගේ යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවර කොල්ලකරුවන් 22ක් නාවික හමුදාව විසින් ඊයේ (05) අත් අඩංගුවට ගෙන තිබේ.
ඊයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් වයඹ නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, බටහිර නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් යොදවා සිදුකර තිබිණි.
එම මෙහෙයුමේ දී මන්නාරම දකුණු මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ ධීවර කොල්ලයේ යෙදි සිටි මෙම ධීවර පිරිස අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසි දෙදෙනා (22) කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙනවිත ඇත,
ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.







