දිනසේන රතුගමගේ –
-
ඉන්දීය ධීවර ආක්‍රමණිකයන්ට විරුද්ධව අවුරුදු 20ක් තනිව සටන් කළා… උතුරේ ධීවරයින්ගෙන් යැපෙන ද්‍රවිඩ මන්ත්‍රීවරුත් මේ ප්‍රශ්නයට දායක වී තමන්ගේ කොටස ඉටු කළ යුතුයි… ධීවර ඇමති කියයි…
උතුරේ දෙමළ මන්ත්‍රීවරු ඉන්දියාවට ගොස් ඉන්දීය රජය සමග සාකච්ඡා කොට ඉන්දීය ධීවරයින් උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයට පැමිණීම වළක්වා ගැනීමට වහාම සාකච්ඡා පවත්වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (27) දා යාපනයේදී ඉල්ලා සිටියේය.
අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ තමන් වසර 20 කට වඩා වැඩි කාලයක් මේ ඉන්දීය දීවරයින්ගේ උතුරු මුහුද ආක්‍රමණය කිරීමේ ක්‍රියාව නතර කර ගැනීමට මහත් වෙහෙසක් දරන ලද නමුත් එය සම්පූර්ණයෙන්ම සාර්ථක නොවූ ව බවයි.
මේ නිසා උතුරේ ධීවර ප්‍රජාවගේ සහයෝගය මත යැපෙන උතුරේ සෙසු දෙමළ මන්ත්‍රීවරුන්ද මේ ප්‍රශ්නයට යම් දායකත්වයක් ලබාදීමක් හා කැපකිරීමක් සිදු කළ යුතුය යන්න තමන්ගේ අදහස බව ධීවර අමාත්‍යවරයා පැවසීය.
බලහත්කාරයෙන් උතුරු මුහුද ආක්‍රමණය කරමින් පැමිණෙන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරණ නමුත් එම අත් අඩංගුවට ගැනීම් ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
දේශීය ධීවරයින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නිරත වන විට නාවික හමුදාව ඔවුන්ව අත් අඩංගුවට ගන්නා කාර්යශීලී භාවයෙන්ම ඉන්දීය ධීවරයින්ද අත් අඩංගුවට ගත යුතු බව ඩග්ලස් දේවාන්නදා අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.