කැනේඩියානු භූමියේදී සීක් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් උත්සන්න වන ගැටුම මධ්‍යයේ ඉන්දියාව කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා අත්හිටුවා ඇති බව බීබීසී වාර්තා කරයි.
ඉන්දියානු වීසා සේවා සපයන්නා වන BLS, සිය වෙබ් අඩවිය හරහා මෙම වීසා අත්හිටුවීම පිළිබඳ පණිවිඩය ප්‍රථම වරට අද පළ කළේය.
“ඉන්දියානු දූත මණ්ඩලයේ වැදගත් දැනුම්දීම: මෙහෙයුම් හේතූන් මත, 2023 සැප්තැම්බර් 21 සිට ක්‍රියාත්මක වන පරිදි, ඉන්දියානු වීසා සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත,” එම නිවේදනයේ දක්වා තිබිණි.
ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇ.ති අතර එම ප්‍රශ්නය BLS වෙබ් අඩවියට යොමු කරන ලෙස BBC වෙතින් ඉල්ලූ බව එම පුවත් ඒජන්සිය පවසයි.
ඉන්දියන් සම්භවයක් සහිත කැනේඩියානුවෙක් වූ සික් ජාතික බෙදුම්වාදී නායකයා කැනඩා භූමිය තුළ ඝාතනය වීමත් සමඟ සිද්ධිය පිළිබඳව ඉන්දියාව සම්බන්ධ කරගෙන නැගෙන “විශ්වසනීය චෝදනා” විමර්ශනය කරන බවට කැනඩාව ප්‍රකාශ කළේය.
මේ සතියේ දෙපාර්ශවය අතර ආතතිය ඇවිලී යන්නේ එම ප්‍රකාශයෙන් පසුය.
කෙසේ වෙතත් ඉන්දියාව කෝපයෙන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේ එය “විකාරයක් ” ලෙස හඳුන්වමිනි.
විශ්ලේෂකයින් පවසන්නේ මාස ගනනාවක් තිස්සේ පළුදු වූ රටවල් අතර සබඳතා මේ වන විට කිසිදා නැති බිඳ වැටී ඇති බවකි.
ගැටුමට හේතුව
හර්දීප් සිං ඉන්දියාව විසින් ත්‍රස්තවාදියෙක් ලෙස නම් කළ පුද්ගලයෙකි. ඒ වර්ෂ 2020 දී ය.
කැනේඩියානු පුරවැසියෙකු වන හර්දීප් සිං නිජ්ජාර් ජූනි 18 වැනිදා බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සික් කෝවිලක් අසලදී මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඔහුගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කරන ලදී.
ගොනු වෙමින් ඇති සාධක මත පදනම්ව මෙම ඝාතනයට “ඉන්දියා රජයේ නියෝජිතයන්” සම්බන්ධ දැයි බුද්ධි අංශ විමර්ශනය කරමින් සිටින බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කලේ ඒ සම්බන්ධව විශ්වාසනීය සාධක හමුවන බවය..
කැනේඩියානු භූමියේදී කැනේඩියානු පුරවැසියෙකු ඝාතනය කිරීම සඳහා විදේශ රජයක් සම්බන්ධ වීම තමන්ගේ ස්වෛරීභාවය සම්බන්ධ පිළිගත නොහැකි උල්ලංඝනයක් බව ද ටෲඩෝ අවධාරණය කළේය. ඒ කැනේඩියානු පාර්ලිමේන්තුව අමතමිනි.
ඊට ඉන්දියාව දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූයේය. කැනඩාව එහි රැකවරණය ලබා දී ඇති “ඛලිස්තානි ත්‍රස්තවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීමට” උත්සාහ කරන බව ඉන්දියාව පෙරළා කැනඩාවට චෝදනා කළේය.
බටහිර රටවල සීක් බෙදුම්වාදීන් කලීස්තානය හෝ වෙනම සීක් නිජබිමක් සඳහා කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජය බොහෝ විට තියුණු ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
1980 ගණන්වල සීක් බහුතරයක් වෙසෙන පන්ජාබ් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගත් ප්‍රචණ්ඩ කැරැල්ලක් සමඟ ඛලිස්තාන් ව්‍යාපාරය ඉන්දියාවේ උච්චතම අවස්ථාවට පත් විය.
එය ඉන්දියානු පාලකයෝ මැඩ පැවැත්වූහ. දැන් එම බෙදුම්වාදී අදහස ඉන්දියාවේ එතරම් අනුනාදයක් නැත, නමුත් කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල සීක් ඩයස්පෝරාවේ ඇතැමුන් අතර තවමත් මේ සංකල්පය ජනප්‍රියය.
කැනඩාව පන්ජාබයෙන් පිටත වැඩිම සීක්වරුන් සංඛ්‍යාවක් සිටින අතර ඛලිස්තාන් හිතවාදීහු විරෝධතා සහ පෙළපාලි කිහිපයක් එහි පැවැත්වූහ.