දරුවන් දෙදෙනෙකුට සහ කාන්තාවකට ජිවිතය අහිමි කරමින් අනුරාධපුර ඇලයාපත්තුව වැව පාර මාන්කඩවල ප්‍රදේශයේ නිවසක පෙරේදා (26 දා) රාත්‍රී ඇතිවූ ගින්නෙන් මිය ගිය ගිය දැරිය පෙරේදා නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් ඉහළම සාමර්ථයක් අත් කරගෙන ඇති බව වාර්තා වේ.
මෙම විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රීතිය අත් නොවිඳ පිළිස්සී මිය ගිය දස හැවිරිදි දියනිය හංසකා ප්‍රබෝධනීය.
පස් හැවිරිදි ජයරත්නගේ විනුජ නවෝද ජයරත්න ලබන වසරේ පාසල් යෑමට සූදානමින් සිටියේය. මෙම දරු දෙදෙනාගේ මව වන තිස් හැවිරිදි නිශාන්ති හේමලතා ද ගින්නෙන් පිලිස්සී මිය ගියාය.
සිද්ධියෙන් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන එම දරු දෙදෙනාගේ පියා වන සමන්ත ජයරත්න කලක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත්ව මාළු වෙළෙඳාමේ නිරතව සිට ඇත.
ගින්න ඇති වූ නිවසේ හිමිකාර හිටපු යුද හමුදා සෙබළා විසින් එදින සවස සිය ත්‍රිරෝද රථයේ ටැංකියෙන් ලබා ගෙන තිබු පෙට්‍රල් බූලියක් මියගිය තිදෙනා අවසන් වරට නිදා සිටි කාමරයේ ඇඳක් යට තබා ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර ගිනිගත් නිවසට අසල්වැසි නිවසකින් විදුලි රැහැනක් ආධාරයෙන් විදුලි බල මණ්ඩලයේ අවසරයකින් තොරව විදුලිය ලබා ගෙන තිබු බව හෙළි වී තිබේ.
ඉන් ඇතිවූ විදුලිය කාන්දුවකින් පෙට්‍රල් බුලියට ගිනි ඇවිලී මෙම ගින්න හට ගන්නට ඇති බවට මේ පිළිබඳව විමර්ශන පවත්වන ඇලයාපත්තුව පොලිසිය සැක පහළ කරයි.
නිවසේ අදාළ ගින්න හටගත් අවස්ථාවේ හෘද රෝගියකු බව කියන නිවසේ හිමිකරු නින්දයෑම සඳහා ඖෂධ වර්ගයක් පානය කොට සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා නිදා සිටි කාමරයට යාබදව පිහිටි කාමරයේ නිදා සිට ඇත.
සිද්ධිය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවා තිබේ.







