ඇම්බ්යුලන්ස් එකකින් පලාගොස් සැඟවී සිටි පුරපති සමන්ලාල් උදේ ගල්කිස්ස පොලිසියට භාර වේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මීට ස්වල්ප වෙලාවකට පෙර ගල්කිස්ස පොලිසිය මගින් අත් අඩංගුවට ගත්තේය.

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය අවස්ථාවේ දී ස්වකීය ආධාර කරුවන්ට තමන්ගේ චිට් එකෙන් එන්නත් නොදීම සම්බන්ධව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරියකට තර්ජනය කර බැණ වැදී රාජකාරියට බාධා කීරීම සම්බන්ධව වූ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බව අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී පසු නගරාධිපතිවරයා ගල්කිස්ස පොලිසියට පැමිණ භාර වී තිබිණි.

මොරටුව පුරපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක (ටෝකන්) පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා පුරපතිවරයා හා වෛද්‍යවරිය අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව වීඩියෝ දර්ශන ඔස්සේ මාධ්‍යවල වාර්තා විය.

වාර්තාවන පරිදි රජයේ නිලධාරියෙකුට එරෙහිව රජයේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිය දී දේශපාලකයෙක් සිදු කළ මේ අශිෂ්ට මැදිහත්වීම සම්බන්ධව ඊයේ රාත්‍රිය වනතුරු අදාළ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණේ නැත.

පසුව මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය මැදිහත් වී අදාල වෛද්‍යවරිය මොරටුමුල්ල පොලිසියට ගෙන්වාගෙන පැමිණිල්ල සටහන් කරගෙන ඇත.

මේ බව සැලවීමත් සමග එදින රෑ තමන් අත්අඩංගුවට පත් වේ යැයි ලැබුණු තොරතුරු මත පුරපති සමන්ලාල් ප්‍රනාන්දු නගරසභාව මාර්ගයෙන් ගිලන් රථයක් ගෙන්වාගෙන නිවසින් පලා ගොස් තිබේ.

අනතුරුව අද නීතිඥයන් මාර්ගයෙන් ගල්කිස්ස පොලිසියට භාර වී තිබේ. භාර වූ පුරපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.





Exit mobile version