ආසියාව දිනා ගත් විශිෂ්ඨයෝ දිවයිනට පැමිණියහ. ඒ ඊයේ රාත්‍රියේ දීය. චීනයේ හැංජො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩාම එයින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන තිබුණහ.
ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ රන් පදක්කම් ලාභී යොවුන් දියණිය තරුෂි කරුණාරත්න කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබිණි. තරුෂි තවමත් උසස් පෙළ හදාරන සිසුවියකි. ඇයට පෙර ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කමක් දිනා ගන්නා අවධිය වනවිට ඇය ඉපදිලාවත් නැත. රන් පදක්කමක් ඉන් පෙර අවසන් වරට දිනාගෙන තිබුණේ වර්ෂ 2002 දී ය. 18 හැවිරිදි තරුෂි අවුරුදු 21කින් පසු රටට ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගෙන ආවාය.
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය. එය ඇයගේ හොඳම කාලය නොවේ. ආසියානු ශූරතා තරගාවලියේ දී ඇය රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 2:00:66 කි. එය ශ්‍රී ලංකා වාර්තාවකි. පුහුණුවීම් වලදී ඇය විනාඩි 2කට අඩු කාලයකින් මීටර 800 නිමා කර තිබිණි. ඇය ඔලිම්පික් බලාපොරොත්තුවක් වන්නේ එබැවිනි.
මේ වනවිට තරුෂි වළල රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටින්නීය.
” බලාපොරොත්තුවෙන් හිටියේ ගෝල්ඩ් මෙඩල් එක ගන්න පුළුවන් වෙයි කියලා. ලොකු කැපකිරීමක් කළා. ඉදිරියේ දී ඔලිම්පික් තියෙනවා. ලබන අවුරුද්දේ ඔලිම්පික්වලට කොලිෆයි වෙන එක තමයි බලාපොරොත්තුව. මට ලොකු සහයෝගයක් ලැබුණේ අම්මාගෙන්, තාත්තාගෙන්, අයියාගෙන් සහ නංගිගෙන්. ඒ වගේම මගේ පුහුණුකරුගෙන් ඒ වගේම මගේ පාසල වළල්ලේ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම ගරුවරු මම ආදරෙන් මතක් කරනවා. නැෂනල් ඔලිම්පික් කමිටුව, මළල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය ඒ හැම ආයතනයකින්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.”
ඇයි කිසිවෙකුටත් වචනයකින් දොසක් කියන්නේ නැත. ලැබෙන පුංචි උපකාරයක් සඳහා කෘතඥ වෙමින් ඇය හුරුවී සිටින සුබවාදී දැක්ම මේ රටට අලුත් බලාපොරොත්තුවක් ගෙන එන්නේය.
තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුය. වසර 33 ක් වලල ඒ රත්නායක මැදි විදුහලේ මළල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මේ විශිෂ්ටයා ය. වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරය හොබවන ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකු ගේ පුහුණුකරුය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රටට දිනා දී ඇති ජත්‍යන්තර මලල ක්‍රීඩා පදකම්කම් ගණන 66 කි. ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ දක්ෂතම මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස 2015 දී සම්මාන ලද සුසන්ත ප්‍රනාන්දුය.
සුසන්ත ප්‍රනාන්දු බීබීසීයට මෙසේ පවසා තිබිණි.

“තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා.
විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට.
මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන,පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.
ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.”
විභාගයෙන් අනතුරුව ඇය නව ක්‍රීඩා ශිෂ්‍යත්වයත් සමග ඇමරිකාවට යනු ඇත.