පිටිදූවේ සිරිධම්ම හෙවත් ශ්‍රී සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු මහා නායක හිමියන්ගේ දෙපා මුළ වැඳ වැටී ශ්‍රී සද්ධර්මය නැවත විකෘති නොකරන බවට මහා සංඝරත්නය සාක්ෂි දරමින් දිවුරා පොරොන්දු වූහ. ඒ පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් ද සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම හිමි විසින් මල්වතු මහා නායක හිමියන්ට ලබා දුන්හ.
මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරන අනර්ථ දේශනා නොපවත්වන බවට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවේ වැඳ පොරොන්දුවන අවස්ථාවට සාක්ෂ ලෙස සානුනායක කාරක සංඝ සභික නාහිමිවරු ද පැමිණ සිටියහ.
මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන් පැවසුවේ සුජාතා සිටු දේවිය හා සිද්ධාර්ථ බෝසතාණන් පිළිබඳ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමි කළ මත්භේදයට තුඩුදුන් ප්‍රකාශය පැරණි අහසේ අලුත් සඳක් කෘතියේ ඇතුළත් වූ කරුණු විස්තර කිරීමට යාමේ දී කළ සාවද්‍ය එකක් බවත් එය චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් කළ ප්‍රකශයක් නොවන බවත් පිටිදූවේ සිරිධම්ම මල්වතු මහනාහිමි ප්රමුඛ විංසත්වර්ගක කාරක සභාව හමුවේ කී බවය.
මේ සමාව ලබා දුන්නේ දෙවැනි වරට බවත් එවැනි වරදක් නැවත කළ හොත් යළි සමාව දීමක් නොකරන බවත් සංඝ සභාව මගින් සිරිධම්ම හිමියන්ට දැනුම් දුන් බව පහමුණේ සුමංගල නාහිමියෝ ප්‍රකාශ කළහ.
ආචාර්ය පහමුනේ සුමංගල හිමියන් විසින් කළ ප්‍රකාශය පහත දැක්වේ. මාර්ගඵල ලාභි බෝධිසත්වවරයෙක් ලෙස පෙනී සිටිමින් ධර්මය විකෘති කිරීම සම්බන්ධ බරපතල චෝදනා රැසක් පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමියන්ට තිබිණි.