නිරෝධායනය වන ජනතාවට ලබා දෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව එතෙක් ලබාදුන් රු.5000/=දීමනාව වෙනුවට රු.1998ක “ඊනියා සහන මල්ලක්”ලබා දෙන්නට තීන්දු කිරීම මගින් අසරණ ජනතාව ඉලක්ක කොටගෙන එල්ල කළ තවත් මරු පහරක් බව විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එයද ඇනවුම් කළවිට අයකිරීමකින් තොරව නිවසට එවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන ප්‍රකාශ සාවද්‍ය බව ඔහු සඳහන් කරයි.
ඒ පිළිබඳ විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ පහත කරුණු ද දැක්වේ.
“සහන මල්ල ද සහමුලින්ම ප්‍රෝඩාවක් වන අතර මේ ව්‍යසනකාරී මොහොතේ සහන වෙනුවට අසහනය ජනතා කර මත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇත.
රටට සෞභාග්‍යය රැගෙන එන බවට පුරසාරම් දෙඩූ අභිනව මුදල් අමාත්‍යවරයා පත්වූවාට පසුව, ඊට පෙර පැවැතියාටත් වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව ආර්ථිකය ද කඩා වැටී ඇත.
◼️පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය එයින්ම පැහැදිළි වෙයි.
වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති අතර,ඉන්ධන,ගෑස්,හාල්, ඖෂධ,පාන් ඇතුලු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.
◼️ඕනෑතරම් ඖෂධ රට තුළ ඇති බවට මුසාවාදා පවසන ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරු ඒ අතරේ තානාපතිවරුන් හරහා ඖෂධ ඉල්ලමින් සිටියි.
එනයින් ගම්‍ය වන්නේ රට ගොඩනැගීම කෙසේ වෙතත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය අවම පහසුකම් ටික හෝ සැලසීමට ආණ්ඩුවට නොහැකි බවය .
◼️ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් පිළිබඳව පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15.8% අනුපාතය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අතර අතිශය භයානක තත්ත්වයක් බව ඔවුන්ගේ පුරෝකතනය යි.
◼️මේ අතර බෙහෙත් වට්ටෝරු, ඇණවුම්, ලියාපදිංචිය ආදී තොරතුරු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඩ් හෙවත් දත්ත අවකාශයේ ගබඩා කළ තොරතුරු මැකී යාම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතු ආන්දෝලනාත්මක සිදුවීමකි.මේ දත්ත මැකීම පිපිටුපස ජාවාරම්කරුවන් පිරිසක් සිටිනවාද යන්න පිළිබඳව නිරවද්‍ය අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුය.
◼️එදිනෙදා ජීවිත සම්බන්ධයෙන් මෙන්ම අනාගත අපේක්ෂාවන් සම්බන්ධයෙන් ද ජනතාව තුළ බලාපොරොත්තු බරපතල ලෙස කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති අතර නිසි සැලසුමක් සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් නැති වීම හේතුකොටගෙන ආණ්ඩුවද මංමුලා වී සිටී.
” ශ්‍රී ලංකාව සුරක්ෂිත කිරීම ” සඳහා වන ඒකාබද්ධ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට දවසින් දවස ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එදාවේල ගත කිරීම වෙනුවෙන් මාතෘකා ඇති කිරීම ය.
මේ තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමුව ඇති අතර කඩාවැටී ඇති සහ කඩාවැටෙමින් ඇති ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව අපි දැඩි උවමනාවෙන් යුතුව සිටින බවද දන්වා සිටින” බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.







