මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිසියට ඔත්තු දීම පිළිබඳ සිද්ධියක් මුල් කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් විසින් ඔත්තුකරුවන් ඉලක්ක කරගෙන සිදුකරමින් ඇතැයි කියන ඝාතන මාලාවක එක් අවස්ථාවක් සේ සැලකෙන අහුංගල්ලේ RIU හෝටලය අසල පසුගිය 12 වැනිදා සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකා දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් පෙරේදා (15) මීගහතැන්න පොලිස් වසමේ තල්පැදිවෙල, මීගහතැන්න ලිපිනයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම 41 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
හෝටලය අසල දී වෙඩි පහරට ලක්වූයේ අහුංගල්ල ගල්වෙහෙර පාරේ පදංචි ප්‍රදීප් කුමාර (40) නැමැති ත්‍රීරෝද රථ රියදුරෙකි. ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ අහුන්ගල්ල RIU සංචාරක හෝටලය ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථය තබාගෙන සිටින විටදීය.
පොලිසිය අනාවරණය කරන්නේ මෙම වෙඩි තැබීම වැරදීමකින් සිදු වූවක් බවය. වෙඩි පහරට ඉලක්ක වූ ත්‍රීරෝද රථ රියදුරා කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධ අයෙකු නොවන බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කීවේය.
අහුන්ගල්ල, මිද්දරමුල්ලේ පදිංචි තට්ටය සහිත කුමාර නම් අයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බවත් ත්‍රීරෝද රථ රියදුරාද තට්ටය සහිත කුමාර කෙනෙක් වීම හේතුවෙන් ඔහුට වෙඩි තබා තිබෙන බවත් මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය.
කෙසේ වෙතත් සිද්ධියේ සැකකාර කුලී ඝාතකයා බලපිටිය බණ්ඩරවත්තේදී පසුගිය බ්‍රහස්පතින්දා (13) රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකායේ වෙඩි පහරින් මියගියේය.
මෙසේ මියගොස් තිබුණේ අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කම්මාචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් (36) නැමැති පුද්ගලයෙකි.







