පාර්ලිමේන්තුවේ පක්ෂ නායක ධූරය සඳහා සම්ප්‍රදායිකව වෙන් කර ඇති අසුනේ ස්වාධීන නවක මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා අසුන් ගැනීම හේතුවෙන් ඔහු හා පාර්ලිමේන්තු නිලධාරියෙක් අතර ඇති වූ සංවාදාත්මක තත්ත්වය මේ වනවිට මාධ්‍යයට මුදා හැර තිබේ.

අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී නිශ්චිත අසුන් පැනවිමක් සිදුනොවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැමති ආකාරයකට අසුන් ගත හැකි බවත් පාර්ලිමේන්තුව විසින්ම නිවේදනය කර තිබිණි.
ඒ නිවේදනය ප්‍රකාරව යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් 7 නියෝජනය කරමින් පත්වූ එකම මන්ත්‍රීවරයා වූ වෛද්‍ය රාමනාදන් අර්ජුනා විපක්ෂ නායකවරයාට වෙන් කර තිබූ සම්ප්‍රදායික අසුනේ වාඩිවුනේය.
එම අවස්ථාවේ එතැනට පැමිණි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසුවේ මෙම අසුන වෙන් කර ඇත්තේ විපක්ෂ නායකවරයාට බවය.
පාර්ලිමේන්තු නිලධාරියා – මේක වෙන් වෙලා තියෙන්නේ විපක්ෂ නායකවරයාට.
වෛද්‍ය රාමනාදන් අර්ජුනා – එහෙම කොහෙවත් ලියලා නෑ නේ.
පාර්ලිමේන්තු නිලධාරියා – නෑ… ඒක හරි. මම කියන්නේ මේක විපක්ෂ නායක තුමාගෙ ආසනේ…
වෛද්‍ය අර්ජුනා – මට හතර පස් පාරක් කියන්න බෑනේ. මේක කොහෙවත් ලියලා තියනවද එහෙම.
පාර්ලිමේන්තු නිලධාරියා – නෑ… අද එහෙම නම් කරන්නේ නෑ කියලා තියනවා.
වෛද්‍ය අර්ජුනා – හරි… එහෙමනම් ඕන තැනක වාඩි වෙන්න පුලුවන්නේ.
පාර්ලිමේන්තු නිලධාරියා – නෑ… මේක විපක්ෂ නායකවරයාගෙ සීට් එක.
වෛද්‍ය අර්ජුනා – දැන් මේ සීට් එක එහෙමයි කියලා ලියලා තියනව ද කොහෙ හරි. ලියලා තියනවා නම් පෙන්නන්න… මම නැගිටින්නම්. තව පුටු කීයක් තියනව ද?. වාඩි වෙන්න කියන්න. තව පුටු කීයක් තියනවද මෙතන. වාඩිවෙන්න පුලුවන්නෙ. අපි සම්ප්‍රදාය වෙනස් කරලා තියෙන්නෙ.
ආණ්ඩු පක්ෂයේ අයට පිටිපස්සේ ආසන වෙන් කරලා තියෙන්නේ – මම තාම ආණ්ඩු පක්ෂයේද විපක්ෂයෙ ද කියලා තීන්දු කරලා නෑ. මං ස්වාධීනව ආවේ.







