මනම්පිටිය නිමල් ජයරත්න –
දික් කසාද නඩුවක් සඳහා වාසිදායක අන්දමින් තීන්දුව ලබාදීමට ගල්ලෑල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගත් කදුරුවෙල ක්වාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ ලිපිකරු ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පොළොන්නරුව දිසා විනිසුරු චාන්දනි ඩයස් ඊයේ ( 04 ) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ ජුම්මා පල්ලිය ,කදුරුවෙල. ලිපිනයේ පදිංචිව සිටි, කාති උසාවියේ විනිසුරු ඔක්කාසි සෙයියදු මොහම්මදු අබ්දුල් කාදර් සහ ඔහුගේ ලේකම් වන අංක 222, ගල්ලැල්ල, කදුරුවෙල ලිපිනයේ පදිංචි ඒ.එම්. විනාසර් යන අය ය.
රක්ෂිත බන්ධනාගාරගත කළ ක්වාති විනිසුරුවරයා සහ ඔහුගේ ලේකම්වරයා ලබන 08 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.
ඉකුත් තුන්වෙනිදා කදුරුවෙල ක්වාති උසාවි පරිශ්‍රයේදී දික්කසාද නඩුවකට වාසිදායක තීන්දුවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් අවස්ථාවේදී, අල්ලස් හා දූෂණය කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේය.







