පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලවගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (2) අවසර දුන්නේය.
එහෙත් එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කිරීම විනිසුරු මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.
ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.
එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩ තහනමකට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.
ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.
නඩුව යළි අගෝස්තු මස 1 වනදා කැඳවීමට දින නියම විය.







