සූරියවැව නුවන් ජයසේකර –
අශික්ෂිත බීමත් රියදුරෙක් විසින් පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක භටයෙක් සිය මෝටර් රථයට යට කර පළායෑමෙන් පසු එම පොලිස් නිලධාරියා මිය ගොස් සිවිල් ආරක්ෂක භටයා බරපතල තුවාල ලැබූ සිද්ධියක් නව වසර උදාවත් සමග වාර්තා වේ.
මේ මිනීමරු රියදුරා විසින් අනතුරට ලක් කර පලා ගොස් තිබුණේ අම්බලන්තොට නගරයේ බීට්ටු රාජකාරියේ යෙදි සිටි අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිළධාරියෙකු හා සිවිල් ආරක්ෂක නිලධාරියෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිළධාරියා රෝහල් ගත කිරීමෙන් පසු අද (01) උදේ මිය ගියේය. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට පොලීසියට අනුයුක්තව මාර්ගයේ බීට්ටු රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් (82615 ) එම්. සරත් කුමාර නැමැති 43 හැවිරිදි නිළධාරියායි. ඔහු සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි. අද
ජීවිතයෙන් සමුගත් එම පොලිස් නිලධාරියා ස්ථාන මාරුවක් ලබා හෙට දිනයේ දී ඇඹිලිපිටියට යෑමට නියමිතව සිට ඇත. ඔහුගේ සමුගැනීම වෙනුවෙන් අද අම්බලන්තොට පොලිස් ස්ථානයේ සාදයක්ද සූදානම් කර තිබිණි. මේ දෛවෝපගත ව්‍යසනයට ඔහු මුහුණ දෙන්නේ ඒ අතර කාලයේ දී ය.
අන්තුරින් රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකා නිළධාරී (27798) දිසානායක නිළධාරියාද තුවාල ලබා රෝහල් ගත කෙරිනි.
නව වසර උදාවත් සමග නිළධාරීන් දෙදෙනා අම්බලන්තොට ගිරිහඩු රාජමහා විහාරය අසල රථවාහන පරික්ෂා කරමින් සිටියදි තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය කරන ලද සුදු පැහැති කාර් රථයකට නතර කරණ ලෙස සංඥා කර තිබේ.
එහිදී එම කාර් රථය මාර්ග රාජකාරියේ නිරත නිළධාරීන් දෙදෙනාද යට කරගෙන නොනවත්වා පළා ගියේය.
අන්තුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිළධාරියා ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත 1990 ගිලන් රථයෙන් ගෙන ගොස් ඇති අතර සිවිල් ආරක්ෂක බළකා නිළධාරියා ප්‍රතිකාර සඳහා අම්බලන්තොට ප්‍රාදේශි රෝහලටත් ඇතුළත් කෙරිනි.
මෝටර් රථය සොයා ගැනීම
පොලිස් කොස්තාපල් වරයා රෝහල් ගත කිරිමෙන් පසුව මිය ගියේය. අනතුර සිදුකළ මෝටර් රථය සොයා ගත නොහැකි විය. එය සොයා විමර්ශන ආරම්භ කෙරිනි. එහිදී මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේම පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය.
අනතුර සිදුකළ විමර්ශනයේ දී අම්බලන්තොට රිදියගම මාර්ගයේ ඇලේ කොලණිය ප්‍රදේශයේ නිවසක නවතා තිබිය දී අනතුර සිදුකළ වාහනය සොයා ගැනුණි. පොලිසිය පැවසුවේ අනතුරට පත් මෝටර් රථයේ ආදායම් බලපත්‍රය අනතුර සිදුවූ ස්ථානයේ වැටී තිබියදී සොයා ගෙන එහි සටහන්ව තිබූ තොරතුරු මත අදාල මෝටර් රථය සොයා ගත් බවය.
ඒ අනුව ඒ නිවසේ සිටි මෝටර් රථයේ හිමිකරුවන මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. එමෙන්ම සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් චෝදනාව යටතේ එම පුද්ගලයාගේ මව සහ පියා ද අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් තිදෙනා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
අත් අඩංගුවට පත් වාහනයේ ගමන් කළ අනෙක් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පරීක්ෂණවලින් අනාවරණයවන ආකාරයට අත් අඩංගුවට පත් රියදුරු බීමත්ව සිට තිබේ. අණ නොතකමින් රිය ධාවනය කිරීමට හේතුව බීමතින් සිටීම බව ද අනාවරණය වී ඇත.







