ශ්‍රියානි විජේසිංහ –
අම්පාර දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය නතර කරන්නේද නැතහොත් අනෙක් දිස්ත්‍රික්කයන් වෙත ව්‍යාප්ත කරන්නේද යන්න තීරණය අද සෞඛ්‍ය ලේකම්වරයාට භාර දීමට නියමිත කමිටු වාර්තාව අනුව තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය 01 දා දෙහිඅත්තකණ්ඩිය රෝහලෙන් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට අම්පාර දිස්ත්‍රික්කය පුරා රෝහල් වෙත ව්‍යාප්ත කර ඇති බැවින් වර්ජනයට හේතු වූ දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනාගේ ස්ථානමාරුව පිලිබඳව වහාම සොයා බැලීමට සෞඛ්‍ය ලේකම්වරයා පත්කල සිවු පුද්ගල කමිටුවේ වාර්තාව අද දිනය තුළ සෞඛ්‍ය ලේකම්වරයාට භාරදීමට නියමිත බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.
කෙසේ නමුත් වැඩ වර්ජනයට දෙහිඅත්තකණ්ඩිය, මහඔය, අම්පාර දිස්ත්‍රික් රෝහල සහ පර්යන්ත රෝහල් සියල්ලම එකතු වී ඇති බැවින් රෝගීහු මහත් අසීරුවකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල් තුළ සිදුකිරීමට නියමිත තිබු සැලසුම් කල සැත්කම්, බාහිර රෝගී අංශ හා සායනික ප්‍රතිකාරයන් මුළුමනින්ම නතර වී ඇති බැවින් රෝගීහු 50000ට අධික පිරිසක් මහත් අසීරුතාවන්ට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.







