මනම්පිටිය නිමල් ජයරත්න –
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායකයෙක් කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
ජීවිතය බේරාගත් මෙම රිය සහායකයා දින දෙකක් සැඟවී සිට ඇතැයි කාර්තිව් පොලිසිය කියයි. ගංවතුරට හසුව අතුරුදහන් වූ බවට සැක කළ අය අතර රිය සහායකයින් දෙදෙනා ද විය. අද එක් රිය සහායකයෙක් ද ඊයේ සවස අනෙක් රිය සහායකයා ද පොලිසියට භාර වී ඇත.

අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු රිය සහායකයා ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව කාර්තිව් පොලීසිය සඳහන් කළේය. ඔහුන් සමන්තුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අද උදේ ට්‍රැක්ටර් රථ රියදුරාගේ සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු පොලිසියේ සහ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් සොයාගෙන තිබිණි. මේ වනවිට සිද්ධියට අදාල පුද්ගලයින් 06 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත. සිසුන් සිවු දෙනෙකුගේ සිරුරු ඒ අතර තිබේ.
තවත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.







