ශ්‍රියානි විජේසිංහ –
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිඳවැටීම හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර ඇනහිට ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම යන්ත්‍ර 3 පිළිවෙළින් මේ මස 7 සහ 8 යන දෙදින තුළදී බිදවැටී ඇත.
මෙම යන්ත්‍ර නඩත්තු කිරිම සඳහා ගිවිසුම්ගත වීමේදී මෙම යන්ත්‍ර ක්‍රියා විරහිත වී දින 3ක් ඇතුළත යථාවත් කිරීම සඳහා කොන්දේසි පනවන අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් අදාළ සමාගමෙන් ගිවිසුම්ගත මුදලින් දිනකට සියයට 1ක අධිභාරයක් අයකර ගැනීමට ගිවිසුම්වල ප්‍රතිපාදන ඇතැයි ද හෙතෙම පෙන්වාදේ.
කෙසේ නමුත් එසේ ප්‍රතිපාදන තිබුණද පසුගිය කාල වලදී එසේ අදාල සමාගම්වලින් අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාකර නොමැති බවද සංගමය අවදාරණය කරයි.
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු අතරමගදි විකිරණ ප්‍රතිකාර ඇනහිටීම මගින් පිළිකාව වැඩි වර්ධනය වීමේ අවදානමක් වුවද ඇතිවිය හැකි බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10 ස්ථාපිත කර ඇති අතර ඉන් යන්ත්‍ර කීපයක් විටින විට බිඳවැටීම පිළිබඳවත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳවත් වහාම සොයා බැලිය යුතු අතර බිඳවැටුණු යන්ත්‍ර යථාවත් කිරීමට දීර්ඝ කාලයක් ගතවිම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයිද සංගමය පවසා සිටියි.







