අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කර පලාගොස් ඇති පුද්ගලයා හඳුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පලා ගොස් සිටින පුද්ගලයෙක් බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
ඇමතිවරයා මේ හෙළිදරවු කිරීම කරනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
” ඔබ දන්නවා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට බරපතල ලිංගික බලහත්කාරකමක් කරලා තියනවා. මේ සම්බන්ධව පොලිසිය වහාම මැදිහත් වෙලා පරික්ෂණ කටයුතු ආරම්භ කරලා තියනවා. මේ විමර්ශන දිගින් දිගටම සිදුකරමින් පවතිනවා. ”
” මේ වනවිට සැකකරු හඳුනාගෙන තියනවා. ඔහු හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක්. ඔහු දැනට ජීවත්වන, මේ අවස්ථාවේ සිටින ප්‍රදේශ කුමක් ද කියලා මේ වනවිට හඳුනාගෙන තියනවා. ඔහුව අත් අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙනවා. මම හිතනවා ඔහුව කඩිනමින් අත් අඩංගුවට ගන්න හැකියාව ලැබෙයි කියලා. ”
” මේ පිළිබඳව විමර්ශන කඩිනම් කරලා සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගන්න අපි කටයුතු කරනවා.”







