මෙරට කාන්තාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා අඩු වියදමකින් ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ අඩු වියදම් සනීපාරක්ෂක තුවා නිපදවීමේ ලෝක ප්‍රසිද්ධ “ පෑඩ් මෑන්“ ලෙස හඳුන්වන අරුනාචලම් මුරුගානන්දන් සහ ඔහුගේ ආයතනයේ සහය ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
මේ වනවිට මෙරට වෙළෙඳපොළේ මෙම ද්‍රව්‍ය මිල ඉතා මිල අධික බැවින් එය බොහෝ පවුල්වලට දැරිය නොහැකි මට්ටමට පැමිණ ඇති අතර මෙලෙස ඉන්දියානු ආයතනයේ සහය ලබාගෙන එය මෙරට නිපදවීම කෙරෙහි ඇති හැකියාව සොයා බැලීම පිළිබඳව සාකච්ඡාවකට ලක්ව ඇත.
මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේම්නාත් සී දොලවත්ත විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සහ ජල සම්පාදන කටයුතු පිළිබඳව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලද ඉන්දියාවේ සනීපාරක්ෂක තුවාල ලාබදායීව නිපදවීමට ප්‍රසිද්ධ ආයතනයක උදව් ලබා ගන්නා බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු විපක්ෂ නායකවරයා පසුගිය කාලයේදී මෙම සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දීම පිළිබඳව දැක්වූ අදහස් සිහියට නගමින් තමන්ද විපක්ෂ නායකවරයාගේ මතය දරන බව ප්‍රකාශ කළේය.
කෙසේ වුවද පසුගිය මැතිවරණ වේදිකාවලදී හ සමාජ මාධ්‍ය තුළ සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන අවස්ථාවලදී ඔහු රජයේ දේශපාලකයන් සහ ආධාරකරුවන්ගේ දැඩි ගර්හාවකට සහ අපහාසයකට ලක් විය. ඔහුටද පෑඩ් මෑන් ලෙසින් අපහාස කළ රජය මේ වනවි නියම පෑඩ් මෑන්ගෙන් සහය ලාබගැනීමට පෙලඹීම දෛවෝපගත බව විපක්ෂ දේශපාලකයෙක් ලංකාසරට පැවසීය.
ඉන්දියාවේ කොයිම්බතූර් හි වෙසෙන අරුනාචලම් මුරුගානන්දන් මෙම සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් ලද සිය පෞද්ගලික අත්දැකීම් උපයෝගී කරගෙන අඩු මිලට ඉන්දීය කාන්තාවන්ට ඒවා ලබා දීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඔහුගේ මේ කතාව ද පෑඩ් මෑන් නමින් චික්‍රපටයකටද නැගී ඇත.







