කිරි ගවයින් අතර බහුලව දක්නට ලැබෙන බුරුලු ප්‍රදාහය (Mastitis) රෝගය කල්තියා හඳුනා ගැනීම සඳහා කෘතීම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ ආචාර්ය බිමල්කා රණසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිපල අත්ව තිබේ.
දේශීය කිරි ගොවි කර්මාන්තයේ හෙට දවස පිළිබඳ සුබ නිමිත්තක් ලෙස සැලකෙන මෙම පර්යේෂණය සඳහා ආචාර්ය බිමල්කා රණසිංහ මහත්මිය සමඟ ඉංජිනේරු පීඨයේ ආචාර්ය දමයන්ති හේරත්, මහාචාර්ය චමිල වල්ගම්පාය, කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ආර්.එම්.සී දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ද පර්යේෂණ සහායිකාව ලෙස කේ.එම් දේවින්දි මහත්මිය ද දායක්තවය ලබා දී ඇත.

කිරි ගවයින් 2400 ක් පමණ සංඛ්‍යාවක් පරීක්ෂණයට භාජනය කරමින් ඔවුන් ගේ වයස, බිහි කළ පැටවුන් ගණන ආදි තොරතුරු ද එම සතුන් ගේ කිරි වල අඩංගු මේදය හා ප්‍රෝටීන් ප්‍රමාණය, ශෛල ප්‍රමාණය ඇතුළු දත්ත රැසක් ද ඒකරාශි කර ඒවා විශ්ලේෂණය කිරීම මගින් බුරුළු ප්‍රදාහය රෝගයට හේතුවන බැක්ටීරියා ආසාදිතව සිටින සතුන් සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට හැකි වූ බව ආචාර්ය බිමල්කා රණසිංහ මහත්මිය කීවාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අංශයේ ආචාර්ය දමයන්ති හේරත් මහත්මිය පැවසුවේ එම දත්ත පරිගණක ගතකර මැෂින් ලර්නින් ( Machine Learning) ක්‍රමය ඔස්සේ බුරුලු ප්‍රදාහයට ගොදුරු වූ සතුන් කෘතීම බුද්ධිය උපයෝගි කරගනිමින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සොයා ගැනීමට හැකි වූ බවයි.
පසුගිය වසරේ ජූලි හා සැප්තැම්බර් කාලය තුළ බුරුලු ප්‍රදාහයට ගොදුරු වූ කිරි ගවයින් 3700 ක් වාර්තා වී තිබෙන බවත් 2022 වසරේ එම කාලය හා සැසඳීමේ දී රෝගයට ගොදුරු වූ සතුන් ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කී රණසිංහ මහත්මිය එම රෝගය නිසා කිරි දෙනකගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය මෙන්ම එහි ගුණාත්මක බව ද අඩුවන බව අවධාරණය කළාය.
සායනික නොවන (Subclinical) අවස්ථාවේ දී රෝග ලක්ෂණ භාහිරින් හඳුනාගත නොහැකි අතර සතුන් ශාරීරිකව නිරෝගීය. කිරි වල වෙනසක් දක්නට ද නොලැබේ. නමුත් වෙනත් කිසිදු හේතුවකින් තොරව කිරි නිෂ්පාදනය කාලයත් සමඟ ක්‍රමයෙන් අඩුවීම මෙහි විශේෂත්වයකි. බුරුලු ප්‍රදාහයට නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම මගින් ආසාධිත ක්ෂීර ග්‍රන්ථි හා පටක සම්පූර්ණයෙන් විනාශ වී එමගින් කිරි නිෂ්පාදනය මුළුමනින්ම නැවතීමේ හැකියාවක් ද පවතී. එවැනි තත්ත්වයකට පත්වූ කිරි බුරුලක් නැවත යථා තත්ත්ත්වයට පත් කිරීමටද නොහැකි බව පශු වෛද්‍යවරු පවසති. එමෙන්ම ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රතිජීවක කිරි සමඟ ආහාර දාමයට ද ඇතුළු වීමේ අවධානමක් පවතී. බුරුලු ප්‍රදාහයට ගොදුරු වූ එළදෙනුන්ගේ ප්‍රජනන හැකියාව පහළ ගොස් පැටවුන් ලබා ගැනීමේ කාලය දීර්ඝ වන බව ද ආචාර්ය බිමල්කා ඇතුළු පර්යේෂකයින් විසින් සොයා ගනු ලැබ තිබේ.
රෝග කාරක බැක්ටීරියාව කිරි බුරුල ට ඇතුළු වී කාලයක් ගත වූ පසු කිරි ගවයාගේ කිරි බුරුලු වල ඉදිමීම,රත්පැහැ ගැන්වීම වැනි ලක්ෂණ දැකිය හැකි බවත් මෙම තත්ත්වයට පත්වීමට පෙර ආසාදිත සතුන් හඳුනා ගැනීමෙන් රෝගය පැතිරීම වලක්වා ගැනීම සඳහා එම සතුන් වෙන්කර තැබීම වැනි ක්‍රියාමාර්ග වලට පහසුවෙන් යොමු වීමට හැකි බවත් ආචාර්ය රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම පර්යේෂණයේ ප්‍රතිපල සැලකීමේ දී රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කුමන වර්ගයේ කිරි ගවයින් ද යන්න ආදි ගොවීන් ට ඉතා වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමට හැකි බව ද ඇය කීවාය. – දිනමිණ







