ඉඳුනිල් කහටපිටිය –
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේදී සිදුකළ සුවිශේෂී මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඊයේ (12) දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගය සම්බන්ධයෙන් මේ වන විට අතිශය භයානක තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
මෙය හුදෙක් මත්ද්‍රව්‍ය වැටලීමක් පමණක් නොව, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සහ අවි ජාවාරම්කරුවන් අතර පවතින සන්නද්ධ සබඳතාව මනාව තහවුරු කළ සිදුවීමක් බවට මේ වනවිට පෙනී යමින් ඇත.
මත්ද්‍රව්‍ය තොගයේ සංයුතිය සහ වටිනාකම
ඊයේ සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වූයේ අදාළ යාත්‍රාවේ උර 48ක බහා තිබූ සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 654ක් බවයි. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 10කට අධිකය. මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් සමන්විත විය:
- අයිස් (ICE): කිලෝග්‍රෑම් 478ක්
- හෙරොයින්: කිලෝග්‍රෑම් 176ක්
මත්කුඩු සමඟ ආ ‘දිරිගැන්වීමේ’ අවි තොගය
මෙම වැටලීමේදී ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමු වූයේ යාත්‍රාවේ සඟවා තිබූ නවීන ගිනිඅවි තොගය වෙතයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යාත්‍රාවකින් එකවර සොයාගත් වැඩිම ගිනිඅවි සංඛ්‍යාව මෙය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. අමෙරිකාව, චීනය, තුර්කිය සහ පාකිස්තානය යන රටවල නිෂ්පාදිත මෙම ගිනිඅවි සියල්ලම ඉතා හොඳ ක්‍රියාකාරී මට්ටමේ පවතින නවීන ඒවාය. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මිලදී ගැනීමේදී ලබාදෙන “දිරිගැන්වීමක්” (Incentive) ලෙස මෙම ගිනිඅවි ලාංකික ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බවය.
මෙම T-56 සහ M-16 වැනි යුදමය මට්ටමේ (Military-grade) ප්‍රහාරක අවි මෙරටට ගලා ඒම පිටුපස බරපතළ සැඟවුණු පණිවිඩයක් පවතී. සාම්ප්‍රදායික පාතාලය භාවිත කරන කුඩා ගිනිඅවි වෙනුවට මෙවැනි ප්‍රබල අවි මෙරටට ගෙන්වීම හරහා පෙනී යන්නේ, සංවිධානාත්මක අපරාධ කල්ලි රාජ්‍ය ආරක්ෂක අංශවලට පවා අභියෝග කළ හැකි “අර්ධ මිලිටරි” ශක්තියක් ගොඩනගා ගැනීමට දරන උත්සාහයක් බව පෙනේ. විශේෂයෙන්ම බටහිර තාක්ෂණික M-16 වැනි අවි මෙරට අපරාධකරුවන් අතට පත්වීම ජාතික ආරක්ෂාවට එල්ල කරන බරපතළ තර්ජනයකි. මත්ද්‍රව්‍ය ජාල හරහා අවි ආයුධ බෙදාහැරීම මගින් රට අස්ථාවර කිරීමේ “නාර්කෝ-ත්‍රස්තවාදී” (Narco-terrorism) උපායමාර්ගයක් මෙහි ගැබ්ව ඇතැයි දැන් සැක කළ යුතු මට්ටමකට පැමිණ තිබේ.
ඉරාන සම්බන්ධය සහ ගැඹුරු මුහුදේ හුවමාරුව
මෙම මත්ද්‍රව්‍ය සහ අවි තොගය ලාංකික බහුදින යාත්‍රාවට ලැබී ඇත්තේ ගැඹුරු මුහුදේදී හමුවූ ඉරාන යාත්‍රාවක් (Dhow) මගිනි. ඉරාන මුහුදු සීමාව සහ මකරාන් වෙරළ තීරය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස දීර්ඝ කාලයක සිට භාවිත වේ.
ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය තොග ඉරාන යාත්‍රා මගින් ඉන්දීය සාගරයට ප්‍රවාහනය කර, මුහුද මැදදී ශ්‍රී ලංකාව වැනි රටවල යාත්‍රාවලට ලබාදීම (Ship-to-ship transfer) මෙම ජාවාරමේ ස්වභාවයයි. ධීවර යාත්‍රා ලෙස පෙනී සිටිමින් විශාල ගබඩා පහසුකම් සහිතව සැරිසරන මෙම ඉරාන යාත්‍රා, දකුණු දිග මත්ද්‍රව්‍ය මාර්ගයේ (Southern Route) ප්‍රධාන පුරුකක් බවට පත්ව ඇත.
විමර්ශන අංශ පෙන්වා දෙන්නේ මෙම ඉරාන යාත්‍රා (Dhows) හුදෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට පමණක් නොව, ඉන්දීය සාගරය තුළ ක්‍රියාත්මක වන බහුකාර්ය ‘ජංගම සැපයුම් මධ්‍යස්ථාන’ (Floating Warehouses) ලෙස ක්‍රියා කරන බවය. සාමාන්‍ය ධීවර යාත්‍රා ලෙස පෙනී සිටිමින් මාස ගණනාවක් ගැඹුරු මුහුදේ රැඳී සිටින මෙම යාත්‍රා, මත්ද්‍රව්‍යවලට අමතරව කලාපීය ගැටුම් සඳහා අවශ්‍ය කෙරෙන නීතිවිරෝධී අවි ආයුධ සහ ඉන්ධන ජාවාරම් කිරීමේ ප්‍රධාන පුරුකක් ලෙස ද කටයුතු කරයි.
මෙම යාත්‍රා හරහා සිදුවන ‘නාර්කෝ-ත්‍රස්තවාදී’ (Narco-terrorism) ක්‍රියාවලිය මගින් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මෙන්ම, මුහුද මැදදී රහසිගතව ශ්‍රී ලංකාව වැනි රටවල යාත්‍රා සන්නද්ධ කිරීමට කටයුතු කිරීම කලාපීය ආරක්ෂාවට එල්ල වී ඇති දැවැන්ත අභියෝගයකි.
ඩුබායි සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මෙහෙයුම්කරු
මෙම සමස්ත ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සිට විවිධ රටවල සැරිසරන පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ. නාවික හමුදාව මුහුදේදී යාත්‍රාව කොටුකර ගැනීමෙන් පසු, ගොඩබිම සිටිමින මෙම ජාලය මෙහෙයවූ ප්‍රධාන මෙහෙයුම්කරු සහ යාත්‍රා හිමිකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් සමත් විය.
ඊට අමතරව:
- මත්ද්‍රව්‍ය තිබූ යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු සහ එයට ආරක්ෂාව සපයමින් පැමිණි අනෙක් යාත්‍රාවේ සිටි 07 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවේ.
- ඔවුන් සතුව තිබූ චන්ද්‍රිකා තාක්ෂණික දුරකතන ද විමර්ශන භාරයට ගෙන ඇත.
ඒකාබද්ධ විමර්ශන සහ නාවික හමුදා වාර්තාව
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (TID) එක්ව මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර බුද්ධි අංශවල සහාය ද ඊට ලබා ගැනීමට නියමිතය.
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර සඳහන් කළේ 2025 වසරේ සිට ගතවූ මාස 15ක කාලය තුළ නාවික හමුදාව රුපියල් මිලියන 96,000ක (බිලියන 96ක) මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවය.
2025 වසරේදී රුපියල් මිලියන 75,000ක් ද, 2026 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 21,000ක් ද වටිනා මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සඳහා භාවිත කළ යාත්‍රා 133ක් ද රජයට පවරාගෙන තිබේ.
දත්ත පවසන බිහිසුණු ඇත්ත: මත්කුඩු සමඟ එන සන්නද්ධ අභියෝගය
විමර්ශන අංශ පෙන්වා දෙන පරිදි, 2025 වසරේ සිට ගතවූ මාස 15ක කාලය තුළ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය හා අවි තර්ජනය සංඛ්‍යාත්මකව ද ඉතා ඉහළ අගයක් ගනී. පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තොග සමඟ ටී-56 ප්‍රහාරක රයිෆල් 50කට ආසන්න සංඛ්‍යාවක් සහ විදේශීය නිෂ්පාදිත නවීන පිස්තෝල 110කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
විශේෂයෙන්ම 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ මුල් මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යාත්‍රා තුළ “ස්වයංක්‍රීය ගිනිඅවි” හමුවීමේ ප්‍රවණතාව 15% කින් පමණ වර්ධනය වී ඇති බව බුද්ධි අංශ නිරීක්ෂණය කර ඇත. මෙම දත්ත මගින් තහවුරු වන්නේ මෙරට පාතාලය හුදු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔබ්බට ගොස්, ජාත්‍යන්තර ‘නාර්කෝ-ත්‍රස්තවාදී’ ජාලයන්හි සන්නද්ධ ශාඛාවක් ලෙස වර්ධනය වෙමින් පවතින බවය.
එබැවින්, මෙම යාත්‍රා සමඟ අත්අඩංගුවට පත්වන එම්-16 වැනි උසස් තාක්ෂණික අවි හුදෙක් ප්‍රදර්ශනයට එවන ඒවා නොව, මෙරට ජාතික ආරක්ෂාවේ පදනමටම එල්ල කර ඇති බරපතළ මාරාන්තික අනතුරු ඇඟවීමක් බව බලධාරීන් අවධාරණය කළ යුතුය.







