ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අධිකරණය හමුවේය. ඔහුව ඊයේ අත් අඩංගුවට ගන්නා අතර එසේ අත් අඩංගුවට ගැනීමට මූලික පදනම වැටෙන්නේ ජනතා අභිලාෂය නියෝජනය කරමින් සිවිල් සංවිධාන නීතියේ සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්න කරමින් දිගින් දිගටම දැක්වූ විරෝධතාවය ය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා චූදිතයෙක් වන්නේ කෙසේ ද?. මේ වාර්තාව බීබීසී සිංහල වෙබ් අඩවියෙන් උපුටගෙන පල කරමු.
බීබීසී –
ඉමියුනොග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණෙන ලෙස දැනුම් දුන්නද පසුගිය ජනවාරි 31 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහි නොගියේ තමන්ට වෙනත් කටයුත්තක් මෙන්ම මහාධිකරණය හමුවේ පෙනී සිටීමට ඇති බවට CID යට ලිඛිතව ලිපියක් යොමු කරමින් ය.
මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 02 උදෑසන 9.00ට පමණ අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් (පෙබරවාරි 01 වැනිදා) නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සෙසු සැකකරුවන් 6 දෙනා පෙබරවාරි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණි.
හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද?
‘හදිසි සහ අත්‍යවශ්‍ය වුවමනා’ බව සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඖෂධ වර්ග 183ක්, ඇගයීම් කමිටුවක් හරහා දින 4ක් තුළදී ඇගයීමකට ලක් කර ඇති බවත්, එලෙස ඇගයීමට ලක් කළ ඖෂධ අතර මෙම ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ චෝදනාවට ලක්වූ තවත් ඖෂධ 3ක් තිබී ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
ඔහු කියා සිටියේ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමුකරන විටත් ඖෂධ මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම සිදුකොට ඊට අදාළ කටයුතු සිදුකර තිබෙන අයුරු මෙහිදී පෙනී යන බවයි.
“උදාහරණයක් විදිහට කෙහෙළිය රඹුක්වැල්ල චුදිතයෙක් වෙන්නේ කොහොමද කියලා අහන කොට අපිට එතන තියෙන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් පත්‍රිකාව අනුමත වුණා කියලා හිතාගෙන ටෙන්ඩර් පළ කරද්දී කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා තියෙන්නේ ඊට සතියකට පස්සේ කියන එක.”
“මේ කාරණා කොහොමද නිල වශයෙන් ඇමතිවරයා විසින් ලේකම්වරයාට ලබා දෙන්නේ කියන එක ගැන රටේ ක්‍රමවේදයක් නැති නිසා එතැනදී ඇමතිවරයා අහුවෙන්නේ නෑ.”
“නමුත් ලේකම්වරයාගේ ඉඳන් පල්ලෙහාට ඉන්න කණ්ඩායම අහුවෙනවා ඔවුන් ලිඛිත තොරතුරු පදනම්කර ගෙන වැඩකරන කණ්ඩායමක් නිසා.” ඔහු පැවසුවේය.
‘හුඟ දෙනෙක් වහලා කතා කරන්නේ – මමයි පළවෙනි පැමිණිල්ල කලේ‘
ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් මෙය දකින්නේ දේශපාලන වැඩපිළිවළක් ලෙස බවයි.
“කවුරුත් මේක දැන ගෙන නෙමේ කතා කරන්නේ. මම මේක දකින්නේ දේශපාලන වැඩපිළිවෙළක් විදිහටයි.”
“මේ සම්බන්ධව මම සියලුම කැබිනට් පත්‍රිකා, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකළ ආකාරය ඇතුළු සියලුම කරුණු CID එකට භාරදීලා තියෙනවා.”
“ඊට අමතරව දැන් තියෙන කරුණු ටිකත් මම ඔවුන්ට භාර දෙනවා.”
“කවුරුත් අමතක කරපු, ඒ වගේම හුඟ දෙනෙක් වහලා කතා කරන දෙයක් තමයි මේ නඩුවේ පැමිණිලිකරු මම කියන එක.”
“මමයි පළවෙනි පැමිණිල්ල කරන්නේ. ඊට පස්සේ තමයි අනිත් අය ගිහින් පැමිණිලි කරන්නේ ගිහිල්ලා.”
“මට අඳුනගන්න ලැබුණා හොර බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. පස්සේ මම ඒ ගැන පැමිණිල්ලක් කළා.”
“ඊට පස්සේ මට ඒ කොම්පැනියේ අයිතිකාරයා තර්ජනාත්මකව ලියවිල්ලක් එව්වා. මම ඒ ලියමන CID එකට භාර දුන්නා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඕක තමයි ඇත්ත.” ඔහු පැවසුවේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන එල්ලවූ චෝදනා සහ විමර්ශන කමිටු පත් කිරීම
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා නිරීක්ෂණය කිරීමට යාමේ සිදුවීමක් පිළිබඳව ද සෞඛ්‍ය සේවාවන්ට අදාළ වෘත්තීය සමිති විසින් එවකට ප්‍රශ්න කරන ලදී.
රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් විදෙස් මුදල් නොතිබීම නිසා හදිසි මිලදී ගැනීම් ලෙස මෙරට රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීම සිදුකරනු ලැබුවේ ඉන්දීය රජය විසින් ලබාදුන් ණය පහසුකම යටතේය.
වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේදී රජයේ රෝහල් මගින් ප්‍රතිකාර සඳහා ලබාදුන් ඖෂධ ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල විය.
එහිදී ශල්‍යකර්ම සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධ සහ භාවිතයට ගැනුණු ප්‍රතිජීවක එන්නත් වර්ග ආසාත්මික වී රෝගීන් මිය යාමේ සිදුවීම් සහ ඇසේ සුද ඉවත් කිරීමෙන් පසු ශල්‍යකර්මයට ලක්වූ පුද්ගලයින්ට ලබා දුන් ඖෂධයක් නිසා පිරිසකගේ දෑස් නොපෙනී යෑම වැනි සිදුවීම් රැසක් වාර්තා විය.
ඒ අතර නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාමේ සිදුවීම් රටේ මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබූ සිදුවීම් විය.
අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ පසුගිය වසරේ ජුලි මාසයේදීය.
එම කමිටු වාර්තාව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉකුත් වසරේ අගෝස්තු 9 වෙනිදා භාර දුන් අතර එහිදී ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයන්ට අනුව වාර්තා වූ මරණ 6 යෙන් පහක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බවට සඳහන් කර තිබිණි.
හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහිව එල්ලවූ චෝදනා සහ විශ්වාස භංගය
ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් පදනම් කරගෙන එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබිය.
පුරා දින 3ක විවාදයෙන් පසුව පැවති ජන්ද විමසීමේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 40කින් පරාජයට පත්කිරීමට ආණ්ඩුව සමත් විය.
‘තාක්ෂණිකව හොරකම් කරන්න පුලුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා’
සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තාක්ෂණිකව හොරකම් කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේය.
බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වනවිට සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක් බවයි.
“මේ කතාව ආරම්භ වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලු සහගත තත්ත්වයත් එක්ක.”
“මේක කෙහෙළිය රඹුක්වැල්ලගේ කතාවට සම්බන්ධ වෙන්නේ මෑත කාලීනව. ”
“සෞඛ්‍ය සේවාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉතා නරක විදිහට තාක්ෂණිකව හොරකම් කරන්න පුළුවන් විදි ක්‍රමයක් හැදිලා තිබෙනවා.”
“ඒ ක්‍රමයට අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයට ඇවිල්ලා නියම ආකාරයෙන් ව්‍යාපාරයක් කරන්න විදිහක් නැහැ කොමිස්, අල්ලස් හෝ වෙනත් වරදාන ලබා නොදී.”
“ඒක වෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ඇතුළෙ වැඩකටයුතු සිදුවන ක්‍රමවේදය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටු, ප්‍රසම්පාදන කමිටු වැඩ කරන ක්‍රමවේදය හරහායි.”
“ඖෂධ සමාගමකට එක පැත්තකින් ඒකාධිකාරියක් හදා ගන්න පුලුවන් වගේම අනෙක් පැත්තෙන් තත්ත්වයෙන් උසස් කියන ලේබල් එක ගහ ගන්න පුලුවන් මුදල් වියදම් කරලා.” ඔහු කීයා සිටියේය.
මෙවැනි කටයුතු සිදුවන බවට වෘත්තීය සමිති කණ්ඩායම් ඒ පිළිබඳව පෙන්වා දුන්නද, ඒ පිලිබඳ විමර්ශනය නොකර ඒවා හෙළි කළ තමන් ඇතුළු කණ්ඩායම චෝදනාවන්ට ලක් කොට වැඩ තහනම් කිරීම දක්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව උත්සහ දැරූ බව රවී කුමුදේශ් මෙහිදී පැවසුවේය.
“ඒ සියල්ලම සිදුකලේ දේශපාලන මැදිහත්වීමක් එක්ක. එතකොට ඒ දේශපාලන මැදිහත්වීම් එක්ක අපට පෙනී ගිය එකක් තමයි මේකේ තාක්ෂණික ක්‍රමවේදය හරහා හොරකම් කරන්න ඉඩ හැර තිබෙනවා කියන එක.”
“ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය එක්ක ඇතැම් සමාගම් මෙය ව්‍යාපාර මොඩලයක් බවට පත් කර ගැනීමට කටයුතු කළා.” ඔහු කියා සිටියේය.
ඉල්ලුම් නොකළ ලංසු නිසා ඇතිවූ තත්ත්වය
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ සමයේදී ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී ඉන්දියාවට ගොස් එක් සමාගමක් තෝරා ගෙන ඉන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියකට යොමු වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන ලදී.
“හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දියාවට ගිහින් එක් සමාගමක් තෝරා ගෙන ඒ සමාගමෙන් විතරක් ඖෂධ මිලදී ගන්න, කැබිනට් පත්‍රිකාවක් දාලා ඉල්ලුම් නොකළ ලංසු කියන ක්‍රමවේදයට යන්න ගියා.”
“මේක ඇතුළෙ අපිට පෙනුණා යම් ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා කියලා. අපි ඉතා අසීරුවෙන් සමහර කාරණා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ”
“එසේ කරද්දී සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන්න වුණා; මොකද කියනවනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය කළේ ප්‍රශ්නය ගැන හොයන්නේ නැතුව ඒක ගැන හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කටයුතු කිරීමයි.” ඔහු පැවසුවේය.
‘හොර සහතික නිකුත් කළේ කවුදැයි මෙතෙක් හෙළිවෙලා නෑ‘
ප්‍රශ්න සහගත ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් හොර සහතික නිකුත් කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දිගින් දිගටම සිදුකළ චෝදනා හේතුවෙන් බව ද මෙහිදී රවී කුමුදේශ් පැවසුවේය.
“ඖෂධ නියාමන අධිකාරිය එයාලගේ ගැලවීම සඳහා මේ සමහර ගණුදෙනු කරලා තියෙන්නේ හොර සහතික වලින් කියලා කියන්න ගත්තා.”
“හොර සහතික ගැහුවේ ඖෂධ නියාමන අධිකාරියද , සමාගමද එහෙම නැත්නම් අධිකාරිය දැනුවත්ව ගහපු හොර සහතික ද කියලා තවම අපි දන්නේ නැහැ. ”
“ඒ ගැන හෙළිදරව්වක් වෙලා නැහැ තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන වලින්.”
“නමුත් ඒ හොර ව්‍යාජ සහතික සිදුවීමත් එක්ක තමයි අපිට හෙලිවෙන්නේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන එන්නත් ඉන්දියාවේ ඉදලා ගේනවා කිව්වට එහෙන් ගෙන්නලත් නැහැ, ඒ සමාගම මේ වගේ එන්නතක් හදලත් නෑ, ඒ වගේම මේ එන්නත් වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පස්සේ ලක්ෂ 1400 ක මුදලක් ගෙවලා තියෙනව කියන එක වගේම මේ එන්නත් රජයේ රෝහල් වලට බෙදා දීලා ඒවා ලබලා දුන්නා කියලා රෝගීන්ට.”
“හැබැයි ඒ එන්නත් දුන්න රෝගීන්ට මොකක්ද වුණේ කියලා අද වෙනකන් අපි දන්නෙත් නෑ.”
“මෙතනින් අපි අවුරුදු 4-5ක් පුරාවට කිව්ව ලංකාවේ සෞඛ්‍ය සේවයේ සිද්ධ වෙනවා කියන තාක්ෂණික හොරකම කියන එක ගැන හෙළිදරව් වෙනවා.”
“ඒ එක්කම කියන්න ඕන මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කතාවෙන් අපි අදහසක් ගන්න හොද නැහැ ලංකාවේ සිද්ධ වුන එකම ගනුදෙනුව මේක කියලා හරි ඖෂධ වලින් ගසා කෑම හරි පගා ගත්ත කියන එකම සිදුවීම මේක කියලා.” ඔහු කියා සිටියේය.







