සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පාස්කු ප්‍රහාරයට වසර 04 යි.  තවමත් විසඳී නැති ගැටලු 04 ක්.

by editor
අප්‍රේල් 21, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

පාඨලී චම්පික රණවක

ඒ වසර 2018 විය යුතුය. ජර්මනියේ ජීවත් වන දෙමළ ජාතිකයෙකුගෙන් මට දුරකථන පණිවිඩයක් ලැබිණි. එයින් කියැවුණේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ වැසියෙකුවන සහරාන් හසීම් නම් (මවුලවි) පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල බ්ලොග් අඩවියක පාඨලී චම්පික රණවක වන මා හට “පට්වා” ඉස්ලාමීය දඬුවම ලබාදිය යුතු යැයි ප්‍රකාශ කර ඇති බව ය. එය මවිසින් ප්‍රකාශකොට ඇති අල් ජිහාද් අල් කයිදා නම්  කෘතිය ඉස්ලාමීය දහමට අපහස කර ඇති බව ප්‍රකාශ කරමිනි.

එම කෘතිය ශාස්ත්‍රීය එකකි. එවැන්නක් ලිවීමට මා පෙළඹවූයේ 9/11 ප්‍රහාරයේ සහ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වූ ඔලුවිල් ප්‍රකාශය විසින් ඇතිකළ සමාජීය බියය. එකී කෘතියේ කතෝලිකයන්ගේ  මූලධර්මවාදී සංවිධානයක් වන “ඕපස් දෙයි” මෙන්ම, යුදෙව් සියොන්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය ද, අල්කයිදා ඉතිහාසය සමග විස්තර කර ඇත. පසුගිය දහස් වර්ෂය සලකා, බලන විට අද දක්වා අඛණ්ඩවම පැවත ඇති ආගමික ගැටුම් ඇතිවී ඇත්තේ, ඒබ්‍රහමික ආගමිකත්වයන් තුනක් වන යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාමීය සමාජ කණ්ඩායම් අතරය. එකී කෘතියේ ඇති කරුණු ගැන විවිධ ඉස්ලාමීය අධ්‍යාපනික උගතුන් හා නායකයින්  මා විමසා ඇති අතර මාව සාධාරණ විවේචනයට ද ලක් කර ඇත. එහි ඇති කරුණු ගැන විවෘත සංවාදයක් ද අප පවත්වා ඇත. නමුත් කිසිදු කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ යුදෙව් උගතුන් හෝ විචාරකයන් ඔවුන් පිළිබඳව වූ ප්‍රකාශයන්ගැන මාහට විවේචන මෙතෙක් ඉදිරිපත් කර නැත.

ලංකාවේ සිදු වූ යුද ගැටුම් පිළිබඳව කම්පනයෙන් යුතුව මැදිහත් වූවන් ලෙස අපගේ ප්‍රකාශවලින් සිත් රිදීම් වලට පත් වූ දෙමළ, මුස්ලිම් බොහෝ දෙනා ගැන මම දනිමි. ඒවා ලේ වැගිරෙන යුද තත්ත්වයක දී ප්‍රකාශ කෙරුණු දෑ වන අතර එයට සමාන හෝ එයට වඩා දරුණු බිය ඇතිවන සුළු හා නොමග යවන සුළු ප්‍රකාශ දෙමළ, මුස්ලිම් අයවලුන්ද ප්‍රකාශ කර ඇත. දැන් අපි සියලු දෙනා ඒ පිළිබඳව ස්වයං විවේචනයක් කර කනගාටුව ප්‍රකාශ කර අන්‍යෝන්‍යව සමාව දී සංහිඳියාව ඇති කරගත යුතු කාලයයි. එය 2010 සිට මගේ ප්‍රතිපත්තිය විය. 

එහෙත් මාගේ ප්‍රකාශයක් නිසා මා මරා දමන්නට තරම් කෙනෙක් ආගමික නියෝගයක් දෙයි නම් එය මගේ බලගතු අවධානයට හේතු වන්නක් විය. මම මේ තත්වය ආරක්ෂක බලධාරීන්ට දන්වා සිටියෙමි. ඔවුනගේ ප්‍රතිචාරය වූයේ සහරාන් ඒ වන විට නීතියෙන් ගැලවී සිටීම පිණිස සැඟවී සිටින බවයි.

අවසානයෙහි සහරාන් මතුවිය. මහත් විලම්පනයක් සිය ජීවිතයටත්, සිය ආගමික සමාජයටත්, ක්‍රිස්තියානි ප්‍රජාවටත්, මුළු රටටත් ඔහුගේ දෙවැනි මතු වීමෙන් සිදුවිය. ඒ පිළිබඳව බොහෝ මධ්‍යස්ථ මුස්ලිම් විචාරකයන් කීවේ මුස්ලිම් සමාජය තුළ තිබූ මේ ගිනිපුපුර මෙසේ පුපුරා යයි කියා ඔවුන් පවා අවතක්සේරු කළ බවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මගේ කෘතියේ සඳහන් වූ මූලධර්මවාදී අන්තවාදයන් මුස්ලිම් සමාජය තුළින් මතුවිය හැකිය යන අනාවැකිය මේසා විශාල විනාශයකින් කෙළවර වනු ඇතැයි මමද  සිහිනෙකින් වත් නොසිතුවෙමි.

එයට හේතු වනුයේ නිදහසට පෙර, නිදහසින් පසු දෙමල කතාකරන ජනතාව යන පොදු තේමාවට නැගෙනහිර මුස්ලිම්වරුන් ද එක් කර ගැනීමට, දෙමළ රාජ්‍ය පක්ෂය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ කොටි සංවිධානය මුස්ලිම්වරු සංවිධානය කිරීමට උත්සාහ කලද, මුස්ලිම් ප්‍රජාව සමාජයක් ලෙස පෙන්නුම් කළ ප්‍රචන්ඩත්වයට යට නොවීම හා ඉවසිලිවන්ත සාමකාමී ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යයේ කොටසක් බවට පත්වීම කාගේත් ගෞරවයට ලක්වූ සංසිද්ධියක් වීමය.

තම ජීවිත පූජාවෙන් ලාංකීය හා ලෝක ඉස්ලාමීය ප්‍රජාව තුළ තමන් සදාතනික වීරයෙකු වනු ඇතැයි ඇතැම් විට සහරාන් සිතා සිටිය ද ‍ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙතින් පළ වූ පිළිකුල හා සමාජ පරිවර්තනය ඔහුගේ සිහිනය සුන් කරවන්නට ද සමත් විය. 

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා කිහිපයක් පත් කළ අතර නඩු පැවරීමක් ද සිදුවිය ඒ සියල්ලෙන් මතු වූ කරුණු බොහොමයක් පිළිතුරු වලට වඩා ප්‍රශ්න රැසක් මතු කලේය.

සහරාන් ගේ පාස්කු ප්‍රහාර වලින් මතුවන ප්‍රශ්න කිහිපයක් වෙයි.

1 සහරාන් ඇතුළු ACTJ (සමස්ත ලංකා තව්හිද් ජමාත්) සාමාජිකයන් සිය ජීවිත පූජා කරන ත්‍රස්ත ප්‍රහාරයකට කැප වූයේ ඇයි? 

එය බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන වල මුස්ලිම් විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සිදුකළ ප්‍රතික්‍රියාවක් ද? නැතිනම් එය මුස්ලිම් සමාජය තුළ ඔවුන් සිතූ පරිදි නිවැරදි ඉස්ලාමීය කියවීම සමාජගත කිරීමට ගනු ලැබූ උත්සාහයක් ද? එසේත් නැත්නම් දිනපතා මැදපෙරදිග ඇතුළු ලොව පුරා සිදුවන මුස්ලිම් වැසියන්ට එරෙහිව වූ ක්‍රියාවන්ට දැක්වූ ප්‍රතිචාරයක්ද?

සිය ප්‍රහාරයෙන් පසු ව ACTJ ප්‍රකාශ කළේ එය නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට සිදුකළ ඝාතනයට ප්‍රතික්‍රියා දැක්වීමක් බවයි. නමුත් එයට වෙනස් කලින් සඳහන් කළ හේතු හා වෙනත් හේතූන් ද අඩු වැඩි ලෙස බලපාන්නට ඇති බව පැහැදිලිය.

අවරගණයේ බෞද්ධ ප්‍රචාරකයින් විසින් ශාසනයත් බෞද්ධ සමාජයටත් කර ඇති සහාසික හා සමාජමය වියසනය ගැන විධිමත් ස්වයංවිවේචනයක් දැන් අත්‍යවශ්‍යය. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වීමට වගකිව යුත්තන් ආර්ථිකය විෂම පාලනයකට යොමු කළ අතර ඔවුන්ගේ ආගමික, ජාතික, සමාජයීය මෙන්ම දේශපාලන අවපාලනයද එයට හේතු වූ බව පැහැදිලිය. 

සහරාන්ගේ ප්‍රහාරයෙන් පසුව ක්‍රිස්තියානි ප්‍රජාව හැසිරුණු ආචාරශීලී ගෞරවනීය ස්වරූපය මෙන්ම ස්වයං පරිවර්තනයකට ගමන් කළ මුස්ලිම් සමාජයේ ක්‍රියාකාරීත්වයද සියලු දෙනා විසින් තේරුම්ගෙන ජීවිත වලට එකතු කරගත යුතුය. වර්තමානයේ සෞදි අරාබියේ සිදුවන නවීකරණ ව්‍යාපෘතියත්, සෞදි අරාබියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සිරියාව, ඉරාකය, ඊජිප්තුව, යේමනය ආදී රටවල ඇති වී ඇති නව රාජ්‍යතාන්ත්‍රික සබඳතාත්, අන්තවාදය ලොව පුරා දුර්වල කරන්නක් වේ. 

2 සහරාන් කවුද? ඔහුගේ ප්‍රහාරය ඔහුගේම කණ්ඩායමේ අවිචාරවත් ක්‍රියාවක්ද? නැතිනම් සමාන්තර ජාත්‍යන්තර ක්‍රියාවලියක ශ්‍රී ලංකා ප්‍රකාශනය ද? 

2010 දී සිදු වූ පූනේ බේකරි පිපිරීම හා 2016 දී සිදු වූ ඩැකා cafe ප්‍රහාරය හා 2019 ෂැංග්‍රිලා ප්‍රහාරය අතර සමානකම් බොහොමයක් ඇත. කලාපයේ සිදු වූ මෙම ක්‍රියාවන් ගැන අපේ ආරක්ෂක අංශ නොතකා සිටියේ ඇයි? දකුණු ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූයේ යැයි කියන අබුහින්ද් මවුලවි වරයා කවුද? අන්තවාදී දේශකයෙක් ද? නැත්නම් අන්තවාදී රහසිගත කණ්ඩායම් ආකර්ශනය කර ගැනීමට තැත්කල ඔත්තු සේවාවක උගුලක් ද? සහරාන්ගේ ප්‍රහාරය විදේශ ඔත්තු සේවා නිවැරදිව හඳුනා ගත්තේ කෙසේද? අබුහින්ද් හා සහරාන් අතර සම්බන්ධය කවරාකාර ද? තවමත් නොවිසදුනු සාරා ජෙස්මින් හා අබුහින්ද් අතර සම්බන්ධය කුමක්ද?

මාගේ පිළිතුර නම් සහරාන් ගේ කණ්ඩායම විවිධ විදේශ අන්තවාදී කණ්ඩායම් සමග එක්ව ප්‍රචාරණයේ යෙදුනද (ISIS) එය ඔවුන්ගේ කුඩා කණ්ඩායමක ලොකු ප්‍රචාරයක් සඳහා සිදු කළ ක්‍රියාවක් බවය. එමෙන්ම ඔවුන්ගේ කුඩා කණ්ඩායම (කණ්ඩායම් තුනක එකතුවෙන් බිහි වූ) තුළ දේශීය මෙන්ම විදේශීය ඔත්තු සේවා වලට තොරතුරු සැපයූ අයද සිටි බව පැහැදිලිය. 

3 ලංකා ඔත්තු සේවා තොරතුරු දැනගෙන ද ක්‍රියාත්මක නොවූයේ ඇයි?

මෙයට හේතු ගණනක් වාර්තා වී ඇත.

  •  බුද්ධි අංශය අතර හා පොදුවේ ආරක්ෂක අංශවලත් පුළුල් ලෙස පැතිරී තිබූ අභ්‍යන්තරික ගැටුම්කාරී තත්ත්වය. (සහරාන්ගේ ප්‍රහාරයට පසු දින පැවැත් වූ විවෘත ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම පැහැදිලි විය)
  • ආණ්ඩුවේ, විශේෂයෙන් යුධ හමුදා බුද්ධි අංශ තව්හිද් ජමාත් (TJ) ව්‍යාපාරය සමග කිට්ටුවෙන් වැඩ කළ නිසා හා ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රහාරයක් නොකරනු ඇති බවට වූ විශ්වාසය. (මෙවන්ම කඩවුණු විශ්වාසයක් රජිව් ගාන්ධි ඝාතනය දක්වා රෝ බුද්ධි අංශයට කොටි සංවිධානය පිළිබඳව තිබිණි)
  • ආණ්ඩුව ඉතා අවිධිමත් ලෙස ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ වූ අපරාධ සෙවීමේ දී සමස්ත ඔත්තු සේවා අංශ හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගැනීම නිසා ආණ්ඩුව කෙරෙහි ආරක්ෂක අංශවල ඇතැම් ඉහළ අංශවල තිබූ කෝපය හා අනාරක්ෂිත භාවය හා ඔවුන් අතර රාජපක්ෂවරුන්ට තිබූ පිළිගැනීම නිසා දැනුවත්ව මෙකී ප්‍රහාරය සිදුවන්නට ඉඩ දුන්නා ය යන මතය.
  • යහපාලන ආණ්ඩුව සමඟ බලගතු ලෙස මුස්ලිම් දේශපාලන නායකයින් ගැටගැසී තිබූ නිසා ආණ්ඩුව මෙවැනි කණ්ඩායමක් පිළිබඳව දක්වන ප්‍රතිචාරය අපැහැදිලි වීම නිසා සහරාන් මර්ධනය කිරීමට යාම ආණ්ඩුවේ කෝපයට හේතු වනු ඇතැයි ආරක්ෂක අංශවල තිබුනායයි කියන මතය
  • බුද්ධි අංශ හා හා ආරක්ෂක අංශවල සම්පූර්ණ නොසැලකිල්ල හා දැක්වූ මන්දෝත්සාහී භාවය නිසා සහරාන් ගැලවී ගොස් මෙම ප්‍රහාරය සිදු වූවා යැයි කියන මතය.

මෙයින් මා විසින් වැඩිපුර බර තබන්නේ දෙවැනි කරුණ කෙරේය. තමන් විසින් ද පෝෂණය කළ තව්හිද් ජමාත් ව්‍යාපාරයේ බිඳී ගිය පිරිස් මෙවැන්නක් කළා විය හැක යන්න, අවතක්සේරු කිරීමෙන් බුද්ධි අංශ එයට බරපතළ ලෙස දායක විය.

4 රාජපක්ෂවරු සිදු කළ මෝඩ ආරක්ෂක ක්‍රියා තුනක්.

  • ප්‍රභාකරන්ගෙන් පසුව කොටි සංවිධානයේ නායකයා වූ කුමරන් පත්මනාදන්, නැගෙනහිර කොටි නායක රාම්, නගුලන් ඇතුළු පිරිස් වලට නඩු නොදමා තවත් 12,000 ක් සමග නිදහස් කිරීම. 

එහි සම්පූර්ණ අරමුණ වූයේ කරුණා, පිල්ලෙයාන් මෙන් මොවුන්ද රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට සේවකයින් කර ගැනීමය. තවද ආණ්ඩුව ප්‍රකාශ කළ කොටි සංවිධානයේ ගිණුම්, නැව්, රත්තරන් ඇතුළු වෙනත් සම්පත් වලට සිදු වූ දේ පත්මනාදන් හෝ ආණ්ඩුව මෙතෙක් පැහැදිලි කර නැත. KP සහ රාජපක්ෂවරු අතර තිබූ ඩීල් එක කුමක්දැයි කවදාහෝ එළි වනු ඇත.

ආණ්ඩුව මෙවැනි ඩීල් වලට නොගොස්, බණ්ඩාරනායක මැතිනිය කළා මෙන් (1971) අපරාධ යුක්ති කොමිසම වැනි ප්‍රසිද්ධ නඩු විභාගයක් පවත්වා සිදුවූ සියලු දේ ජාතික ජාත්‍යන්තර නිරීක්ෂකයින්ට දැන ගැනීමට සලස්වා, අවසානයේ සාමාන්‍ය සෙබළුන් හා කොටි සාමාජිකයන් සමාජයට මුදා හැර සෙසු අයට දඩුවම් දීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කලානම්, අලුතෙන් සත්‍ය සෙවීමේ කොමිෂන් හෝ අතුරුදහන්වූවන්ගේ කොමිෂන් අවශ්‍ය නොවන අතර යුධ අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පීඩනයක් ද එල්ල වන්නේ නැත. අපරාධ යුක්ති කොමිසන් සභාවේ වාර්තාව වැනි පුළුල් වාර්තාවක් මගින් රජයේ හමුදා හා ජවිපෙ කැරලිකරුවන් පිළිබඳ සිදුකල පරිපූර්ණ කරුණු හෙළිදරව්වක්, රජයේ හමුදා, කොටි සංවිධානය, ජාත්‍යන්තර බලවේග වල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සිදුවීමට ඉඩ තිබිනි. එහි ප්‍රධාන සත්‍ය හෙළිදරව් කරුවා වන්නේ, රාජපක්ෂ වරුන්ගේ රැකවරණයෙන් ජීවිතය ගලවා ගත් කොටි නායක KP ය.

කාට හෝ සියල්ල යටපත් කිරීමේ අවශ්‍යතාවයක් තිබිණි.  එයට පිළිතුරු වන්නේ තිබුණා යැයි ආණ්ඩුවම කිවූ කොටින්ගෙ වස්තුව හා සම්පත් කා අතට හෝ පවරා දීමට KP ක්‍රියාකිරීම වියහැකිද?

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ  89 – 90 දී රෝහණ විජේවීර, ගමනායක ඝාතනයෙන් පසු ජවිපෙ නායකත්වයට පත් වූ සමන් පියසිරි ඝාතනය කළේය. ඉන්පසු නායකයා වූ උපාලි ජයවීර ද ඝාතනය කළේය. ජවිපෙ දේපල ද ජනසතු කරන ලදී. (ජනසතු කරන ලද ජවිපෙ දේපල, 1994 දී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසි පසු පක්ෂයට භාර දුන් බව කියැවේ). ජවිපෙ සම්බන්ධයෙන් සිදුකල ක්‍රියාවලිය කොටි සංවිධානය සම්බන්ධයෙන් සිදු නොවුයේ ඇයි? 

  • කොළඹ මාලිගාවත්තේ සිට ක්‍රියාත්මක වූ තවුහිත් ජමාත් ව්‍යාපාරය පෝෂණය කිරීම.

තවුහිත් ජමාත් ව්‍යාපාරය සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය සමඟ ගැටුණු බවත් ඝාතන හා ලේ වැගිරීම් සිදු වූ බවත් රහසක් නොවේ. එහෙත් ආණ්ඩුවේ රැකවරණය එයට ලැබිණි. ඇයි?

මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ගැටඹේ විහාරයේ දී කීවේ එය තොරතුරු ලබාගැනීම සඳහා සිදුකල දෙයක් බවය.

ප්‍රධාන ඉස්ලාමීය ආයතන මෙල්ල කර ගැනීම සඳහා තව්හිද් ජමාත් යොදා ගත් බවට සම්ප්‍රදායික මුස්ලිම්වරුන් කරන චෝදනාව ද බරපතල ය. එමෙන්ම අවශ්‍ය විටෙක තමන්ට පාවිච්චි කිරීමට (කරුණා කල්ලිය මෙන්) මොවුන් යොදා ගත්තා හෝ යොදා ගැනීමට සිතා සිටියා විය යුතුය. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ හිතවාදීන් තවුහිත් ජමාත් ව්‍යාපාරය ගැන අකලංක විශ්වාසයකින් සිටි බව 2019 ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ සහය ගෝඨාභයට ලැබීමෙන් සහතික වෙයි. එහි ඓතිහාසික විහිළුව වන්නේ 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභයගේ ප්‍රධාන තේමාව වූයේ ද වහබ් වාදය පැරදවීම, ගර්භාෂ යුද්ධය අවසන් කිරීම, තවුහිත් ජමාත් මහ මොළකරුවන් සොයා දඬුවම් කිරීම පිළිබඳව වූ දැවැන්ත ප්‍රචාරයක් මගින් බෞද්ධ කතෝලික ජනයා මත සාමූහික බියක් ඇති කර ඔවුන්ගේ ආරක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ යන මතය ස්ථිර කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමය.

  • covid මළ සිරුර භූමදානය සහ ආදාහනය.

covid මළ සිරුරු භූමදානය කළ හැකිව තිබියදී ආදාහනය කළේ ඇතැම් අන්තවාදී පිරිස් Covid චේතනාන්විත ලෙස බෝ කිරීමට ඉඩ ඇති බවට වූ, ඇතැම් ගෝඨාභය උපදේශකයින්ගේ මෝඩ නිගමනයන් ය. එයින් සමස්ත මුස්ලිම් සමාජයම ජාතික හා ජාත්‍යන්තර ලෙස අමනාප කර ගත් අතර අපගේ ඩොලර් අර්බුදය ඇති වීමට එක් හේතුවක් ද විය. 

ලංකාවෙන් covid තුරන් වූයේ ගෝඨාභය නිසා හෝ ඔහුගේ ධම්මික පැණිය නිසා හෝ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ විසින් covid ආසාදිත හා මරණ ලැයිස්තු විකෘති ලෙස සකස් කිරීම නිසා හෝ නොවේ. කොවිඩ් මර්දනය ආරක්ෂක අංශ විසින් සිදු කළ නිසා හෝ නොවේ. තමන්ව වෘත්තියට නොගැලපෙන සෞඛ්‍ය සේවාවක යෙදීම නිසා බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයන් ආසාදිත හා මරණයට පත්වීම සිදු වූ අතර බොහෝ සෞඛ්‍ය සේවකයින් බිය ගත් අවස්ථාවේදීයි ජීවිත අනතුරු නොතකා ආරක්ෂක අංශ කළ කැපවීම මෙයින් අවතක්සේරු කරනු නොලැබේ.

කොවිඩ් මර්ධනය වූයේ රටේ විශාල පිරිසකට (මා ද ඇතුළුව) කොවිඩ් එක් වරක් හෝ කිහිපවරක් වැළඳීම නිසා සමාජීය ප්‍රතිශක්තිය ඇති වීමත්, ආණ්ඩුව ප්‍රමාද වී හෝ කළ වැදගත් දෙයක් වන එන්නත්කරණයත්, පසුව ඇතිවූ කෝවිඩ් ප්‍රභේද වල රෝග ලක්ෂණ දරුණු නොවීමත්, (තවමත් ලංකාවේ covid රෝගීන් හමුවේ) ලොවෙන්ම එය තුරන් වීම නිසා සංචරණයෙන් නව රෝගීන් ඇතිවීම වැළකීමත් නිසාය. 

කවදා හෝ 2020 – 22 කාලයේදී සත්‍ය වශයෙන්ම සිදුවූ මරණ හා ආසාදිත ගනන වෙනම කොමිසමක් දමා සෙවිය යුතුය.

2022 වසරේ තමිල්නාඩුවේ කොයිම්බර්ටෝ වල සහරාන් වර්ගයේ එම කණ්ඩායමේම ඉතුරු බිතුරු විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදී. එයින් පෙනී යන්නේ සහරාන් අවුළුවන ලද ගිනිදැල් ඔහුගේ බිරිඳ නිදහස්ව ගෙදර ගිය පමණින් නිවී නොයන බවය. එම ආකාරයේ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීමේ දී පළමුව සිවිල් සමාජය අවදියෙන් සිටීම, ආරක්ෂක අංශ අපක්ෂපාතීව කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වේ. මේ පාඩම් ඉගෙන නොගත හොත්, අනාගතයේ දී සිංහල, දෙමළ, මුස්ලිම් කවර පාර්ශවයකින් හෝ ත්‍රස්තවාදී ක්‍රියා ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශාදය ගැන විශේෂ කතාවක්….

Next Post

පියුමිගෙන් අමතක නොවන තෑග්ගක්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.