කිර්ති ප්‍රනාන්දු –
ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබිය දී ගම්පහ දාරළුවෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික එකම එක කෲඩියා සිලනිකා ශාඛය අභියසට අද (10) වැඩම කළ මහා සංඝයා වහන්සේ ශාඛයට චීවරයක් පළඳවා සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූලු බැඳ එය පැවිදි කර සාංඝීක දේපලක් බවට ප්‍රකාශයට පත් කළහ.

පඬු කරඳ සේ ජනවහරේ හඳුන්වන මේ ගස සංඝයාවහන්සේ විසින් පැවිදි කරනු ලබන්නේ එය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ගලවා දමන්නට උත්සාහ කරන පසුබිමකදී ය.
මෙම කටයුත්ත සඳහා ජාතික භික්ෂු පෙරමුණේ හා පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ භික්ෂූන්වහන්සේ පිරිසක් ගම්පහ පරිසර සංවිධානය කීපයක නියෝජිතයන් සමග එම ස්ථානයට වැඩම කර තිබුණහ.

අනතුරුව එම ස්ථානයේ ආගමික වතාවත් කළ උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කර චීවරයක් පළඳවා චිරාගත බෞද්ධ සම්ප්‍රදායනුකූලව ගස පැවිදි කරනු ලැබූහ.

මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික පූජ්‍ය තංගල්ලේ නාරද හිමියන් පැවසුවේ රටත් පරිසරයත් ජනතාවත් ආරක්ෂා කරගැනීමට පත් කරගන්නා ලද ආණ්ඩුවෙන් පරිසරයත් රටත් බේරා ගැනීමට දැන් ජනතාවට සිදු වී ඇති බවය. මේ ගස පැවිදි කර සාංඝීක දේපලක් බවට ප්‍රකාශ කළේ එය රැක ගැනීමේ අභිලාෂයෙන් බව උන්වහන්සේ වැඩි දුරටත් කීහ.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියෝ ප්‍රකාශයක් කරමින් පොදු දේපල රැක ගැනීම සඳහා කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බව එතුමාම පැවසුවත් ඒ වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් දංගෙඩියට යවා ඇති බවය. පරිසරය වෙනුවෙන් වවුලන්ගෙන් සිදුවන සේවාව තරම්වත් සේවාවක් මේ ආණ්ඩුවෙන් සිදුනොවන බව පැවසූ උන්වහන්සේ වැඩි දුරටත් කීවේ වැදි නායකයක වන්නිලා ඇත්තන්ටත් පරිසරය බේරා ගැනීම සඳහා ආණ්ඩුවට එරෙහිව නඩු කියන්නට සිදු වී ඇති බවය.
