චීනය විසින් මෙරටට දැවැන්ත ණය මුදලක් ලබාදෙමින් ඉදිකළ, එහෙත් අද දක්වාම ජාතික ආර්ථිකයට නිසි ප්‍රතිඵල එක්කර නොමැති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය පිළිබඳව නැවත වතාවක් අවධානය යොමුකිරීමට කාලය එළඹ ඇත. ඊට හේතුව හම්බන්තොට වරාය පරිද්දෙන්ම මෙම බලාගාරයත් චීනයට පවරාදීමේ සැලසුමක් පිළිබඳව වාර්තා පළවෙමින් තිබීමයි. හම්බන්තොට ඉදිකරන ලද අන්තර්ජාතික වරායත්, ඇත්තෙන්ම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය මොහොතක, මෙරට ජාතික ආර්ථිකයට අවශ්‍යම මොහොතක ආරම්භ කෙරුණු ව්‍යාපෘතියක් නොවන බව තහවුරු කිරීමට ඕනෑතරම් සාධක පවතී. ඇත්තෙන්ම එම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ චීනය විසින් දකුණු ආසියානු කලාපයේ සිය බල ව්‍යාප්තියට සමගාමිව, තෝරාගත් රටවල් කිහිපයකට ලබාදුන් ‘පහසු, එහෙත් ඉහල පොලියකින් යුතු ණය’ උපයෝගී කරගනිමිනි. මෙම ව්‍යාපෘතියට ලැබුණු ණය මුදලින් සැළකිවයුතු කොටසක්, එවකට බලයේ සිටි දේශපාලකයන් අතර කොමිස් වශයෙන් හුවමාරු වූ බවට, එදා විපක්ෂයේ සිටි පාර්ශ්වයන් නොනවත්වා චෝදනා එල්ල කළ ආකාරය අමතක නැත. කෙසේවුවත්, අවසානයේ හම්බන්තොට වරාය වෙනුවෙන් ලබාගත් දැවැන්ත ණය මුදල ගෙවාගැනීමට නොහැකිව, එය ණය ලබාදුන් චීනයටම පවරාදීමට සිදුවිය. සැබැවින්ම එම ගනුදෙනුව සිදුවූ ආකාරය දෙස බලන විට, පැහැදිලිවම පෙනීයන කාරණයක් වන්නේ, ශ්‍රී ලංකාවට ඵලදායි නොවන ව්‍යාපෘතියක් වෙනුවෙන්, ආපසු ගෙවාගත නොහැකි ණයක් ලබාදී, ණය ගෙවාගැනීමට හෝ ආදායම් නූපදන තත්වයක් නිර්මාණය කර, තමන්ගේ මූලෝපායික අරමුණක් වෙනුවෙන් සියුම් ලෙස වරාය පවරා ගැනීමට චීනය කටයුතු කර ඇති බවයි. අද වන විට චීනය විසින් හම්බන්තොට වරාය සිය අධිපත්‍යය යටතේ භාවිත කරන ආකාරය දෙස බලන විට උක්ත කාරණය මනාව තහවුරු වේ.
දැන් නොරොච්චෝලේ තාප බලාගාරය සම්බන්ධයෙන්ද මෙම ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව දැකගැනීමට ඇත. එහි ආරම්භයේ සිටම නොරොච්චෝලේ යනු මෙරට ආර්ථිකයට බරක් බවට පත්වූ, සාර්ථක නොවන ව්‍යාපෘතියක් බව රහසක් නොවේ. ආර්ථික ඵලදායිත්වයකින් තොරවීමට අමතරව ඒ හරහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා මෙන්ම පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රාශියක්ම ගෙවුණු දශකයකට වැඩි කාලයක් තිස්සේ වාර්තා වී ඇත. නොරොච්චෝලේ සම්බන්ධයෙන් වර්තමාන ක්‍රියාදාමය හමුවේ එම ගැටළු පිළිබඳව යළිත් සිහිකැඳවා ගැනීම වැදගත්වේ.
නොරොච්චෝල ලක්විජය තාප බලාගාරය ශ්‍රී ලංකාව් ඉදිකළ පළමු ගල්අඟුරු තාප බලාගාරය යි. ලංකා විදුලිබල මණ්ඩලය මුල්ම ගල්අඟුරු තාප බලාගාරය ඉදි කිරීමට සැලසුම් කළේ ත්‍රිකුණාමලයේ ය. එම තාප බලාගාරය ඉදි කිරීමට එල්ල වූ ප්‍රබල ජනතා විරෝධය හමුවේ එය මීගමුවට හා මාවැල්ලට ගෙන යාමට සැලසුම් කළ ද නො නැවතුණු ජනතා විරෝධතාවන් හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූයේ තම හානිකර සැලසුම් හා ක්‍රියාමාර්ග අකුළා ගැනීමට ය. එහෙත් වර්ෂ 1995 පමණ නැවත නොරොච්චෝල ප්‍රදේශයේ එම තාප බලාගාරය ඉදි කිරීමට සැලසුම් ඉදිරිපත් කළ ද, එයට ද ප්‍රබල ජනතා විරෝධතාවක් එල්ල විය. එලෙස එල්ල වූ ජනතා විරෝධය ද, තාක්ෂණික ගැටලු ද, විවිධ ආර්ථික අවාසි ද, පාරිසරික ගැටලු ද නො සලකා දේශපාලන බලය යොදා ජනතා විරෝධය මර්දනය කළේ ය. විශේෂයෙන් 1997.04.27 වන දින නොරොච්චෝල නගරයේ පැවති ජනතා උද්ඝෝෂණයේදී ඒ.ඩබ්ලිව්. සෝමසිරි නම් දෙදරු පියාව වෙඩි තබා ඝාතනය කර තවත් කීපදෙනෙකුට මාරාන්තික තුවාල සිදු කරමින් ජනතා හඬ යටපත් කර තාප බලාගාරයේ මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ ය.
ප්‍රධාන වශයෙන් මෙම තාප බලාගාරයෙන් සිදුව ඇති සහ තවමත් සිදුවෙමින් පවතින පාරිසරික හානි අතිවිශාලය. තාප බලාගාරයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නිපදවීම සඳහා දිනකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7500ක් පමණ ද වන අතර එමඟින් හමන අළු (Flying Ash) මෙට්ට්‍රික් ටොන් 750 ක් ද, පතුල් අළු (Bottom Ash) මෙට්ට්‍රික් ටොන් 75ක් නිපදවන බව අදාළ වාර්තා පෙන්වාදෙයි. තාප බලාගාරය ආරම්භයේදී මූලික සැලසුම් තුළ ගල්අඟුරු දහනයෙන් නිපදවන බහුතරයක් වූ හමන අළු, සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා අලෙවිකිරීමට සැලසුම් කළ ද, එම සැලසුම් සියල්ල අසාර්ථක වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පතුල් අළු සමඟ හමන අළු ද තාප බලාගාරයට නැඟෙනහිර ප්‍රදේශයේ තැන්පත් කරයි. “ස්වාරක්ෂක කලාපයක්” ලෙස හඳුන්වන හෙක්ටයාර 30ක් පමණ වූ මෙම කලාපයේ අළු අඩි 30 – 50 පමණ උසට ගොඩගසා ඇත. පතිත වන අළු පමණක් ගබඩා කිරීමට (Basement) ඉදිකරන ලද ස්වාරක්ෂක කලාපයේ පතිතවන අළු සමඟ හමන අළු ද ගබඩාකර තාප බලාගාරයේ ඉංජිනේරුවන්ගේ යෙදුම අනුව (Basement) වර්තමානය (Pyramid) බවට පත්කිරීමට සිදු වී තිබේ. එයට නො දෙවෙනිව, හෙක්ටයාර දහයක පමණ ප්‍රදේශයක තැන්පත් කර ඇති අඩි 40 – 50 පමණ උස් වූ ගල් අගුරු කන්ද ද කිසිම ආවරණයකින් තොරව පරිසරයට නිරාවරණය කර ඇත.
විශේෂයෙන්ම, නිරිතදිග මෝසම් සුළං සක්‍රීයව හමන වාරකන් සමයේදී මෙම ගල්අඟුරු දූලි සහ අළු දූලියෙන් අවට ප්‍රදේශ රැසකට විශාල ව්‍යසනයක් සිදුවේ. ඉලන්තිඅඩිය, පනියඩිය, නාරක්කල්ලිය, පූලච්චේන හා නොරොච්චෝල ග්‍රාමවාසීන් දැඩි සේ අළු සහ අඟුරු දූලියෙන් පීඩාවිඳිති. බොහෝ නිවෙස් තුළට මෙම අළු හා අඟුරු දූලි සුළඟට ගසා විත් තැන්පත් වී ඇති අතර, ආහාර පාන පිසගැනීමට, ඇඳුම් පැලඳුම් සෝදා වේලා ගැනීමට ඇතුළු දෛනික ජීවිතයේ බොහෝ කටයුතු සඳහා මෙම අළු සහ අඟුරු දූලි මහත් බාධාකාරී වී ඇත. සුළඟට ගසා විත් නිවෙස් තුළ තැන්පත් වී ඇති මෙම අළු සහ අඟුරු දූලි සෝදා පවිත්‍ර කිරීමට පවා අපහසු ය. ඒ කෙසේ වෙතත් බොහෝ රසායනික ද්‍රව්‍ය (මැග්නීසියම් සල්ෆේට්) අඩංගු යැයි පෙන්වාදෙන මෙම අළු සහ අඟුරු දූලි මිනිස් ජීවිතයට කොතරම් අහිතකර දැයි තීරණය කළ යුතු ය. පරිසරවේදීන්ගේ නිර්දේශය අනුව තාප බලාගාරයෙන් පිටකරනු ලබන විෂ වායු සහ විකිරණශීලි අපද්‍රව්‍ය නිසා පරිසර හානිය තුළින් මතුවන සෞඛ්‍ය තර්ජනයට දසදහස් ගණන් ජනතාව ගොදුරුවීම නො වැළැක්විය හැකි ය. මළ දරු උපත් ඉහළ යාම, පිළිකා, ශ්වසන ආබාධ, ස්නායු ආබාධ, නිතර ඇතිවන ඇස් දැවිල්ල සහ හිසේ කැක්කුම ආදි දේ එහි භයානක ප්‍රතිඵල ය. දැනටම මෙම ප්‍රදේශවල බොහෝදෙනෙක් ශ්වසන ආබාධ සහ චර්ම රෝග සඳහා නොකඩවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඔස්සේ මෙම භයානක තත්වය මනාව පසක් වේ.
තාප බලාගාරයෙන් ධීවර රැකියාවට එල්ල වී ඇති බලපෑම ද අති මහත් ය. මූලිකවම ගල් අඟුරු ප්‍රවාහනය කරන නෞකා බලාගාරයට සමීප මුහුදු තීරයට පැමිණි විට නෞකා වඩා දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත්වේ. ධීවරයන් බහුතරයක් වෙසෙන ඉලන්තිඅඩිය සහ මාම්පූරිය ධීවරයිනට තම රැකියාව සඳහා ඇති හොඳම සහ සීමිත මුහුදු තීරයේ ගල් අඟුරු නෞකාවන් නැංගුරම් ලෑම සහ අවට ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් බවට පත්වීම මහත් ගැටලුවක් වී ඇත. මහ සයුරේ දියකඩනයකට අසුවී දැල් ආදිය ආරක්ෂිත කලාපයට ගසාගෙන යාමෙන් ගල්අඟුරු නෞකා සඳහා ආරක්ෂාව සපයන අදාළ බලධාරින්ගේ දෝෂ දර්ශනයට හා විවිධාකාර හිරිහැරවලට ලක්වීම ධීවරයින් විඳ දරා සිටින්නේ ඉවසීම හැර වෙන කිසිදු හව්හරණයක් ඔවුනට නොමැති හෙයිනි. තාප බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර සිසිලනය සඳහා ලබාගන්නා මුහුදු ජලයට විවිධ රසායන ද්‍රව්‍ය එක්කර අධික උෂ්ණත්වයෙන්ම නැවත මුහුදට මුදාහැරීම මුහුදු ජීවීන් සහ ශාක විනාශයට හේතුවන බව පරිසරවේදීන්ගේ මතය යි. එලෙසම ගල්අඟුරු බෑම සඳහා ඉදිකර ඇති ජැටිය වෙරළ ඛාදනයට හේතු වී ඇති අයුරු දැක බලාගත හැකි ය.
චීනය විසින් මේ සඳහා භාවිත කර ඇති ප්‍රමිතියෙන් තොර යන්ත්‍රෝපකරණ හේතුවෙන් එහි ආරම්භයේ සිට මේ දක්වා දැවැන්ත විදුලිය බිඳවැටීම් 25ක් පමණ නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිතව වාර්තා වී ඇති අතර, එය ලොව ඕනෑම තාප බලාගාරයකින් වාර්තාවිය හැකි ඉතාම දුර්වල ප්‍රමිතියකි. මෙම ප්‍රධාන බිඳවැටීම්වලට අමතරව ජනන යන්ත්‍ර වරින්වර අක්‍රියවීම් ආදී පරිමාවෙන් අඩු බිඳවැටීම් දහස් ගණනක් මෙම බලාගාරය ආශ්‍රිතව වාර්තාවී ඇත. එමගින් සෘජුවම ජාතික විදුලිය පද්ධතියට සිදුව ඇති විදුලිබල සැපයුමේ අඩුව සෘජුවම ආවරණය කරගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇත්තේ ඩිසල් බලාගාර වෙතින් විදුලිය මිලදී ගැනීමෙනි. එහිදී සිදුව ඇති අක්‍රමිකතා සහ ජාතික ධන හානිය ගණනය කර අවසන් කළ නොහැකි තරම්ය. ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ, අද වන විට නොරොච්චෝලේ යනු, ඉතාම සැලසුම්සහගතව නිර්මාණය කරන ලද ‘සුදු අලියකු’ සහ අනාගතයේදී වලක්වාගත නොහැකි ආකාරයෙන් චීනයට පවරාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද උපායමාර්ගික ව්‍යාපෘතියක් බවයි.







