සාකච්ඡා කළේ – ජානක ලියනආරච්චි
ක්‍රිකට් මහත්තුරුන්ගේ ක්‍රීඩාවය. ලෝකය ප්රහර්ෂයට පත් කළ අප්‍රමාණ හැකියාවන් සහිත ක්‍රීඩකයෝ මහත්තරුන්ගේ ක්‍රීඩාව තුළ බිහි වූහ. එහෙත් ක්‍රීඩාවෙන් ආලෝකමත් වූ ආවරණය ඉවත් කළ විට ඇතුළ හිස් අමුම අමු රබ්බඩයින් විනා ඔවුන් බොහෝ දෙනෙක් මහත්තුරු වූයේ නැත. අපේ රටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අඩුවෙන්ම නිර්මාණය කර දුන්නේ මහත්තුරුය. අප විශ්වාස කරන ලෙස රොෂාන් මහනාම ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවු එවැනි අතලොස්සකෙ මහත්වරුන් අතරින් කෙනෙකි. මේ වනවට ස්වකීය ජීවිතයම අප්රකටව කරන මහා සමාජ සේවයක් වෙනුවෙන් කැප කර යහපත් හෙටක් පිළිබඳ සුබ සිහින සහිතව මනුෂ්‍යත්වයේ ගමනක් අරඹා ඇති ඒ සිරිමත් මිනිසා සමග කෙරෙන කෙටි පිළිසඳරක් වෙනුවෙන් ලංකාසර ඉඩ හසර මෙසේ වෙන්වන්නේය.

ප්රශ්නය – මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අපට රොෂාන් මහානම කියන්නේ පුරාවෘත්තයක්. අප ඔබෙන් මෙහෙම ඇසුවොත්… ඔබට රොෂාන් මහානාම කවුද?
පිළිතුර – කිසිම දෙයක් සදාකාලික නැති බව දන්න, අප ජීවත් වෙන්නෙ ඉතාම කෙටි කාලයක් බව අවබෝධයක් තියන, සියල්ල අත්හැරලා යායුතු බැවින් ජීවත් වෙලා ඉන්න ඉතිරි කාලය තුළ අනාගතයේ ජීවත් වෙන්න ඉන්න උපන් නූපන් දරු පැටවුන්ට යහපත් ලෝකයක් හදා දීම යුතුමක් බව හිතන සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙක්…
ප්රශ්නය – ඔබ ජීවිතය ගැන කලකිරිල ද?. අනිත්‍ය මෙනෙහි කිරීමක් ද ඔබ කරන්නේ?
පිළිතුර – යථාවබෝධය කියන්නෙ කලකිරීමක් නෙමෙයි. පුදුමාකාර තෘප්තියක් සහ සැහැල්ලුවක්. අනිත්‍ය මෙනෙහි වීම ඉතාම හොඳයි… අනිත්‍ය මෙනෙහිවන පිරිසක් මේ රටේ හිටියානම් මා හිතන්නෙ අපට අපේ රටට අපේ අනාගත පරම්පාරාවට මේ ව්‍යසනකාරී ඉරණම අත්වෙන්නෙ නෑ…
එත් මා දැන් කරමින් ඉන්නේ විනාශ අත්විඳිමින් ඒ ගැන කනගාටුවීම නොවෙයි. කනගාටුව කියන එක තේරුමක් නැති දෙයක්. මේ අත් විඳින්නේ දැඩි ආත්මාර්ථය මුල් කරගෙන පටු විදිහට කල්පනා කළ සමජයක බහුතරය විසින්ම වපුරපු දේවල්වල ප්‍රතිඵල. දැන් එය සිද්ධ වෙලා තියනවා. තවමත් විනාශය සිද්ධවෙමින් පවතිනවා.
මේ අවස්ථාවේ දි මගේ රට වෙනුවෙන් මා කළ යුතු කොටස කුමක් ද?. මම එය මගේ උපරිමයෙන් මගේ හෘද සාක්ෂියට අවංකව කරනවා.
ඉන් ලැබෙන තෘප්තිය මේ ව්‍යසනය අතරෙත් වත්කම් එකතු කරගැනීමෙන් සතුටු වෙන්න පුලුවන් කියලා හිතන අයට ලඟා වෙන්නවත් බැරි විශාල දෙයක් කියන එක මම දන්නවා.
ප්රශ්නය – ඔබගේ ජීවිත දර්ශනය පිළිබඳ නැඹුරුවට ක්‍රිකට් වලින් ලබපු ආභාසය කොයිවගේ ද?
පිළිතුර – අපි හැමෝම ජීවිතය ඉස්සරහට ගෙනියන්න අංශයක් තෝරගන්නවා. මම තෝරගත්ත අංශය තමයි ක්‍රිකට්. ඇත්තටම එතනදි මම ඉතාම වාසනාවන්තයි. මගේ දෙමපියන්ගේ ආභාසය වගේම මගේ ක්‍රිකට් පුහුණුකරුත්, එවකට මට උගන්නපු ගුරුවරු මහා චින්තන පරාසයක් අපිට විවෘත කරලා දුන්නා. මගේ ක්‍රිකට් මුල් පුහුනුකරු නෙල්සන් මෙන්ඩිස් මහත්මයා අපට කියලා දුන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි. ජීවිතය ගැන, ජීවන කුසලතා ගොඩනගාගන්නා ආකාරය ගැන පරාර්ථය ගැන කියලා දුන්නා. මහත්මා ගුණය ආරක්ෂා කරගෙන අධිෂ්ඨානයකින් යුතුව අරමුණක් කරායන ආකාරය, ක්‍රීඩාව තුළ පවත්වාගත යතු විනය පමණක් නොවෙයි, විනයගරුක පුරවැසියෙකු වීමේ වටිනාකම ඔහු අපට කියලා දුන්නා.
ඇත්තම තත්ත්වය මේකයි. අති මහත් බහුතරයක් ගුරුවරු, නෙල්සන් මෙන්ඩිස් මහත්මයා වැනි විශේෂ පුහුණුකරුවො මේ ජීවිත දර්ශනය අපි ගොඩාක් දනෙකුට දීලා තියනවා. නමුත් ඒ දර්ශනය අවබෝධ කරගෙන පවත්වාගෙන යන්නේ ඒ සඳහා සංවේදීවන පිරිසක් පමණයි. ඉංග්‍රීසි පිරුළක් තියනවා මෙහෙම.
“ ඔබට අශ්වයෙක් ජලය ලඟට රැගෙන යන්න පුලුවන්… නමුත් ඔබට බලහත්කාරයෙන් අශ්වයට ජලය පොවන්න බෑ… “
ප්රශ්නය – ඔබ ලෝක සම්භාවනාවට ලක්වුන තරග තීරකයෙක්. නමුත් ඔබ අයිසීසී එකෙන් ඉවත් වෙනවා. ඒ ඇයි?
පිළිතුර – තවමත් මම තරග තීරකයෙක් ලෙස තාවකාලිකව කටයුතු කරනවා. නමුත් මම අයි.සී.සී. එක සමග ඇතිවුන ප්‍රතිපත්තිමය ගැටලුවක් මත මම එතනින් ඉවත්වුනා. ඇත්තටම එවැනි ඉල්ලා අස්වීමක් කරන්නෙ බොහොම කලාතුරකින් කෙනෙක්. එය ඒ තරම් වරප්‍රසාද සහ පිළිගැනීමක් සහිත වෘත්තියක්.
නමුත් හෘදය සාක්ෂිය කියන එක හැම දේටම වඩා වැදගත්. මම දැන් අර්ධකාලීනව තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරනවා.
ප්රශ්නය – මේ සංවාදය අපි තරමක් වෙනස් දිශානතියකට යොමු කරගනිමු. ආසියාවේ ආශ්චර්ය දකින්න හිටපු අපි දැන් සහමුලින් බංකොලොත් ජාතියක්. කවදාවත් බලාපොරොත්තු නොවුන විදිහට ලෝකය ඉදිරියේ ගර්හාවට ලක්වුන ජාතියක්. අපි නින්දාසහග විදිහට බිඳ වැටිලා. ඇයි අපට මෙහෙම වුනේ ?
පිළිතුර – මා මේ ඔබට කියන්නේ මගේ හැඟීම. අන්තිම ආත්මාර්ථකාමී මිනිසුන් බහුතරයකින් සමන්විත ජාතියයක්. අපි මෑත ඉතිහාසයෙ හැම තීන්දුවක්ම අරන් තියෙන්නේ අනෙකා ගැන තබා අපේ දරුවන්ගේ අනාගතය ගැනවත් කල්පනා කරලා නොවෙයි… තමන්ගෙ වාසියට. තමන්ගේ සමීපතමයින්ගේ ඒ මොහොතේ උන්නතියට. තමන්ට අවාසියක් සිදුවනවා නම් රට ගැන හෝ ජාතියක් මුහුණ දෙන ව්‍යසනය ගැන කතා කරන්න කැමති නැති දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, සමාජ ක්‍රියාකාරිකයින්, ජනමාධ්‍ය සහිත රටකට, රටට සිද්ධවන විනාශයට එරෙහි වන්නන් අවප්‍රමාණ කරන රටකට මීට වඩා වෙනස් ඉරණමක් බලාපොරොත්තු වෙන්න බෑ.
මා ක්‍රීඩකයෙක් ලෙස කතා කරන්නම්. අපි 11 දෙනෙක් කණ්ඩායමට සෙල්ලම් කරන්නේ රටේ මිලියන 22ක් නියෝජනය කරමින්. අපේ අරමුණ තරගය දිනන එක නම් තනි තනිව එකතු කරගන්නා ලකුණ ඉලක්ක කරගන්න ඕන කණ්ඩායමේ ජයග්‍රහණය. තනි පුද්ගලයෙක් මොනතරම් හොඳට තමන්ගේ ගේම් එක සෙල්ලම් කළත් මැච් පරදිනවා නම් ඒ ක්‍රීඩා කිරීමේ තේරුමක් නෑ.
ඒත් ගොඩාක් ක්ෂේත්රවල ඉන්න අය කලේ මේකයි. තනි තනිව තම තමන්ගේ ගේම් එක ප්ලේ කරනවා. ඉහළම ලකුණු ගන්නවා.
ඒත් අන්තිමට මැච් එක පරාදයි.
වැඩේ තියෙන්නෙ හොඳටම පැරදුන වෙලාවට කවුරුත් පරාද වීමේ වගකීම ගන්නෙ නැති එක. හැමෝම කියන්නේ අපි අපේ කාලේ හොඳටම කළා කියලා. ඒ අය ඒ අයගේ කාලේ හොඳටම කළා නම් අද අපේ රටට මෙහෙම වෙන්නේ නෑ.
ඒ වගේම මහජනතාව හිතන්න ඕන අනෙත් අයට ඇඟිලි දික්කරන් කලින් මෙතෙක් අපි කළේ හරි දේ ද කියලා. අපි පත්කරගත්ත පාලකයින් අප විසින් තෝරගත්තේ අපට ලැබෙනු ඇතැයි විශ්වාස කළ සුළු වරප්‍රසාද වරදාන ගැන කල්පනා කරලා නොවෙයි ද කියලා අප අපේ හෘදය සාක්ෂියෙන් විමසිය යුතුයි. දැන් මේ ඉරණම අපට අත් කරලා දීලා තියෙන්නේ එදා අපේ තේරීමම තමයි.
ප්රශ්නය – පොඩ්ඩක් බාධා කරන්න ඕන… මේ ගමන ගැන අපට යම් කුකුසක් තියනවා. ඔබ මේ හදන්නේ දේශපාලනයට ප්‍රවේශ වෙන්න ද?.
පිළිතුර – ( සිනාසෙමින්)… කවදාවත් නෑ. ඔබ ඔය හිතන විදිහට බොහෝ දෙනෙක් කල්පනා කරනවා.
එහෙම දේශපාලනයට එන්න මට අවශ්‍යතාවය තිබුණ නම් ඒක සිද්ධ වෙන්නේ මීට දශක දෙකකටත් එපිට දි. දේශපාලනයට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා කරන්නේ 1999 දි. ඒත් මම එදත් විශ්වාස කරනවා අදත් විශ්වාස කරනවා මගේ ගමන ඒක නෙමෙයි කියලා. මේ රටේ දේශපාලනය කියලා හඳුනාගන්න දේ ඇතුළෙ දේශපාලකයෙක් කරනවට වඩා විශාල වැඩ කොටසක් මගේ සැලසුම් ඇතුළෙ මට තෘප්තිමත්ව කරන්න පුලුවන්.
අනික දේශපාලනය කියන්නෙ මේ රටේ සම්ප්‍රදායිකව හඳුනා ගන්න පක්ෂවලට ලඝු වෙච්චි ගර්හිත තත්ත්වයක් නෙමෙයි. මහා විශාල සමාජ දර්ශනයක්.
අනෙක අපි මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. මගේ තාත්තගෙ බාලමල්ලි ලක්ෂ්මන් මහානාම. ඔහු දැන් අසූ විය පසුකරලා. ඔහු සිය ජීවිතයේ අවුරුදු පනහක් නිහඬවම මහජන සේවයක් කළ කෙනෙක්.
සුනාමි ව්‍යසනය වෙලාවෙ මගේ තාත්තා ඉදිරිපත් වෙලා භාරයක් හදලා අපි උදව් කළ යුතු අයට උදව් කළා. හුඟක් දෙනා දකුණට යද්දි අපි ගියා කලවංචිකුඩි. අපි අපට පුලුවන් ආකාරයට වැඩසටහන් ගණනක් කළා.
මේ විදිහට මිනිස්සුන්ට වැඩ කරන්න මාව පොළඹවන ලද තවත් සංවේදී කාරණාවක් තියනවා. මං තෝරගත්ත ක්ෂේත්රයේ මාව ඉදිරියට ගෙනියන්න මට පදනම හැදුවේ මේ රටේ ක්‍රීඩා ලෝලී යහපත් මිනිස්සු. ඔවුන් මාව ඔසවා තැබූ තැන මට මහා වරප්‍රසාද මිල මුදල් සහිත ගෞරවණීය තැනක්. ඔවුන් අපට අත්පුඩි ගහන්න ඕන. අපි ඔවුන්ගේ සමරු පොතක අත්සන් කළාට පස්සේ අපේ වගකීම ඉවරයි කියලා ගොඩ දෙනෙක් කල්පනා කරනවා.
නමුත් අපි අපේ හදවතට තට්ටු කරලා බලනකොට අපට තේරෙන්න ඕන මේ මිනිස්සු වෙනුවෙන් අපට අත්හැරිය නොහැකි වගකීමක් තියනවා කියලා. මට ඒ වගකීම දැනෙනවා. එය මිනිස්සු එක්ක ජීවිතය බෙදා ගන්න මා තව තවත් පොළඹවනවා.
මේ වැඩකරනකොට මම තේරුම් ගත්ත එක ඇත්තක් ඔබට කිවයුතුයි. මේ රට ඇතුළෙ සංසරණය වන රාජ්‍ය සහ වෙනත් අරමුදල් දකිනකොට, ඒ අරමුදල් මෙහෙයවීමට ඇති බලය සහිත පිරිස් දකිනකොට මට එක දෙයක් වැටහෙනවා. උසස් සිතිවිලි සහිත හදවතක් මේ බලය සහිත අරමුදල් කළමනාකරණයට පත්වෙනවා නම් මේ රට යහපත් තැනක් කරන්න එය පමණක් ඇති .
ප්රශ්නය – දැන් ඔබ කරගෙන යන සමාජ ව්‍යාපෘති සඳහා සමග කටයුතු කරන්න ප්‍රවේශය හැදුනේ කොහොම ද?
පිළිතුර – ඒකට අවස්ථාව ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර හමුවක ප්‍රතිඵලයක් විදිහට. හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්යක්ෂ ශිරෝමි මාස්කෝරාල මට මුණ ගැහෙනවා. ඇය මා මුලින්ම හමුවන්නේ අසංග ගුරුසිංහගේ සොයුරිය හරහා. ශිරෝමිලගෙ ඉල්ලීම අනුව සමාජ සත්කාර අරමුදල තර කරගැනීමට 96 ලෝක කුසලානය දිනපු කණ්ඩායම හොයාගෙන අපි තරගයක් ක්‍රීඩා කළා බේබි ශෙරමි අවුරුදු 50 සම්පූර්ණවන අවස්ථාවේදි.
ඊට පස්සේ හේමාස් අවුට්රිච් පදනම ඔවුන්ගෙ සන්නාම තානාපති ලෙස සේවය කරන්න කියලා මට ආරාධනා කළා. මම ස්තුතිවන්තවෙනවා හේමාස් ආයතනයටත් අබ්බාස් යූසුෆ් අලි මහත්මාටත් මේ අවස්ථාව මට ලබා දුන්න එක ගැන. වැදගත්ම දේ තමයි මෙතන හිටියෙ පුද්ගල පරමාර්ථ නැති බොහොම පිරුණු මිනිස්සු ටිකක්.
ඔවුන් එක්ක සම්බන්ධවීමත් සමගම මට සමාජයක් වෙනුවෙන් ආශාවෙන් කරගෙන යන්න වාතාවරණයක් හැදුනා.
මගේ එක් ප්‍රතිපත්තියක් තියනවා. මා සන්නාම තානාපතිවරයා ලෙස සම්බන්ධවන හැම පදනමකම මම මගේ පැත්තේන් දායකත්වයක් දක්වනවා. හේමාස් අවුට්රිච් පදනම කරගෙන ගිය පෙර පාසල් වැඩසටහනේ පියවර 39 වැනි පෙරපාසල මගේම සල්ලිවලින් මම හැදුවා. ඒ ගැන මා වචනයක් කිව්වෙ නෑ. .
පෙරපාසල විවෘත කරන්න ගියාම ගම්මු කිව්වා ප්‍රදේශයට ප්‍රාථමික විදුහලක් නෑ… පුලුවන් නම් ලබා දෙන්න කියලා. ඒකට දායකත්වය ලබා දෙන්නම් කියන පොරොන්දුව ඔවුන්ට දීලා ආවා. එහෙත් පාසල් ගොඩනැගීම හේමාස් අවුට්රිච් පදනමට ආවරණය කරන සීමාවෙන් පිට තමයි තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රමුඛත්වය තියෙන්නේ පෙර පාසල් හදන එක.
මේ වනවිට මා වෘත්තීය තරග තීරක වරයෙක්. වර්ෂ 2015 ලෝක කුසලාන තරග තීරක මම. එතනදි මම ඩේවිඩ් කෘස්ට සහ එරාජ් කපුකොටුවට ආරාධනා කළා සමාජ සත්කාර ව්‍යාපෘතියකට ආධාර දෙන්න කියලා. ඔවුන්ගෙන් සියයට පහනක් ලැබුණා. මගේ පියාගෙත් පවුලේත් හිතවතෙක් තමයි මලික් තරික් කුරේෂි. ඔහු කොටසක් දැම්මා. ඉතිරි කොටස මා දාලා අති දුෂ්කර පළාතකට ප්‍රාථමික පාසලක් හදලා දුන්නා. වෙහෙරතැන්න ප්‍රාථමික විදුහල. එහෙත් මම ඒ පාසල විවෘත කරන්න යනතුරු දැනගෙන හිටියෙ නෑ එය මගේ නමින් නම් කරලා තියනවා කියලා. චමින්ද වාස් සහ උපුල් චන්දන මේ කටයුත්තට එක් වුනා. ඔවුන් සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධව කතාවීම නිසයි එය රට දැනගත්තේ

සමාජ සත්කාර ආයතන කීයක ඔබ දැනට ආයතන කීපයක වගකීම් දරනව ද?
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වුන ලංකාවේ ඇති ප්රශස්ථම ආයතනයක්වන අයති ආයතනය භාරකරුවෙක් ලෙස මා කටයුතු කරනවා. SOS ළමා ගම්මානයේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරනවා. පිලිකා භාරයෙ භාරකරුවෙක් විදිහට වගකීම් දරනවා. .
“සුව අරණ” කියන්නේ ලංකාවේ පළවෙනි සහන සත්කාර ඒකකය. එය නිර්මාණය වෙන්නේ ඉන්දිරා පිළිකා භාරය හරහා. මේ අවුරුද්දෙ ජූනි 29 විවෘත වෙනවා . මා එහි භාරකරුවෙක් ලෙසත් කටයුතු කරනවා. කොමියුනිටි මීල් ෂෙයාර් පදනමේ සන්නාම තානාපති ලෙසත් ශ්‍රී ලංකා ආඝාත රෝගීන්ගේ සංගමයේ සන්නාම තානාපති ලෙසත් . වකගඩු රෝගීන්ගේ සංගමයේ භාරකරුවෙක් ලෙසත් කටයුතු කරනවා. ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ සන්නාම තානාපති ලෙසත් කටයුතු කරනවා.
දැන් මගේ වගකීම මෙවැනි සමාජ සත්කාරයන්හි නිරතව ඉන්න සමාගම් ඔවුන්ගේ වපසරිය ඇතුළෙ එක් කරගෙන පොදු ඉලක්කයක් යන එක. SOS ළමා ගම්මානය හරහා අපි ලොකු වැඩක් කරනවා.
SOS ළමා ගම්මානය හරහා ලංකාවෙ ඉන්න හැම සිරකරුවෙකුගේම දරුවෙකුට පාසල් භාණ්ඩ ලබා දීලා තියනවා. වකුගඩු රෝගීන්ගේ දරුවන්ට පාසල් භාණ්ඩ, වියලි ආහාර ද්‍රව්‍ය දීලා තියනවා.
මේ වනවිට අපි ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ හරහා අධි මන්දපෝෂිත දරුවන් වෙනුවෙන් ව්‍යාපෘතියක් පටන් ගත්තා
පිළිගත් පුද්ගලයින් වැඩි දෙනෙක් කරන්නේ සන්නාම තානාපති සඳහා සිය නම දෙන එක පමණයි. මා විශ්වාස කරනවා ඒක විතරක් මදි කියලා. ඒ ධූරය තුළ අපට කළ හැකි ක්‍රියාකාරී කොටස අප උපරිමයෙන් කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. වැඩක් නැති දේවල්වලට කාලය වියදම් කරනවට වඩා මේ වැඩේ මට වටිනවා.
මා නැවතත් කියන්නේ… අනෙකාට ඇඟිල්ල දික්කරන්න පෙර අපි අපේ වගකීම කළ යුතුයි.
ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ කතාව සිහි කරගන්න… “ඔබට කැඳ බොන්න අවශ්‍ය නම් ඔබ ඔබේ හාල් මිට දැමිය යුතුයි. “
දැන් මේ සියල්ල අතර රොෂාන් මහානාම පදනමකුත් හදනවා. ඇයි මේ පදනම හදන්නෙ?
කොවිඩ් එක කාලෙදි ඔක්කොම ඇතුලට වෙලා ඉන්නකොට මම හිටියේ එළියෙ. මා සහ චමින්ද වාස් පොඩි පදනමක් හදලා අපට කරන්න පුලුවන් ප්‍රමාණයෙන් මිනිස්සුන්ට උදව් කළා. කොමියුනිටි මීල් ෂෙයාර් භාරය හරහාත් කෑම ලබා දෙමින් මිනිස්සුන්ට අපි උදව් කරමින් හිටියේ.
මේ සියල්ල කෙරෙනවිට තමයි මට ශිරෝමි මාස්කෝරාල යෝජනා කළේ “ දැන් රොෂන් ඔයා මේ ව්‍යාපෘති නිශ්චිත නෛතික රාමුවක් ඇතුළට ගේන්න කාලය හරි, අපට ලොකු වැඩ කොටසක් කරන්න පුලුවන්” කියලා. මේ පසුබිම තමයි රොෂාන් මහානාම භාරය හදන්න මුල් වුනේ.
භාරයේ ඉන්නේ අපි පස් දෙනයි. විධ අංශවල ප්‍රශස්ථ කණ්ඩායමක් ලෙස ඒ පස් දෙනා වැඩ කරනවා. ශිරෝමි මාස්කෝරාල පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විදිහට කටයුතු කරනවා. පදනමේ සාමාජිකයින් ලෙස මගේ බිරියත්, ජෙනරාල් කුමුදු පෙරේරාත්, අෂාන් පීරිස් සහ රේනුකා සේනාධීරත් ඉන්නවා. අශාන්ට තවම අවුරුදු 35ට අඩුයි. ඔහු මේ සඳහා තෝරා ගන්නේ අපි නැති කාලෙක අපේ දරුවන් එක්ක මේ පදනම පවත්වාගෙන යන්න. අමරසේකර ඇනඩ් කම්පැනි සමාගම අරමුදලේ ගිනුම් කරණයත්, හර්නසට් ඇන්ඩ් යන්ග් සමාගම විගණනයත් සිදුකරනවා. .
අපේ පදනමේ ඉලක්ක කණ්ඩායම වෙන්නේ දරුවො. අපි ප්‍රධාන ප්‍රවේශ තුනක් ආවරණය කරනවා. ආබාධිත දරුවො… ආබාධිත දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ජාතික මධ්‍යස්ථානය අයති.. මා එහි භාරකරුවෙක්…
දෙවනුව සුව අරණ මධ්‍යස්ථානය ආරම්භ කරනවා ඉන්දිරා පිළිකා භාරය සමග. මා එහිත් භාරකරුවෙක් ලෙස කටයුතු කරනවා.
තුන්වැනිව අතවරයට ලක් වූ දරුවන්ගේ දෙවැනි ළමා විය හදලා දෙන්න මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමේ කටයුත්තට ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමයට හැකි උපරිම සහයෝගය ලබා දෙමින් ඉන්නවා.
මේ භාරයන් තුනේම මා යම් වගකීමක් දරනවා. දැන් මේ ආයතන පවත්වාගෙන යන්න ප්‍රතිපාදන අවශ්‍යයයි. රොෂාන් මහානාම පදනම මූලික වශයෙන්ම කරන්නේ මේ ආයතන පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රායෝගික මූල්‍ය පදනම හැකි ප්‍රමාණයකින් නිර්මාණය කිරීමට. අයති ආයතනය පවත්වාගෙන යන්න මාසෙකට ලක්ෂ 18ක් අවශ්‍ය වෙනවා. සහන සත්කාර ඒකකය පවත්වාගෙන යන්න අඩුම ගානේ ලක්ෂ 30ක් හොයන්න ඕන. මේ අරමුදල් සම්පාදනය මගේ ප්‍රධාන වගකීමක්. අතවරයට ලක් වූ දරුවන් වෙනුවෙන් දෙවන ළමා වියක් නිර්මාණය කරලා දෙන්න ළමා පියස හැදුවම මේ වියදම තවත් වැඩි වෙනවා.
ආඝාත රෝගින් වෙනුවෙන් ලංකාවෙ තියෙන්නේ එක පුනරුත්ථාපන රෝහලයි. එය තියෙන්නේ රාගම. දෙවැනි රෝහල ඉදිකිරීම අනිවාර්යයෙන්ම කරනවා කියන අධිෂ්ඨානය මා තුළ තියනවා.
දැනට මම වැඩ කරන්නේ පවතින ආයතන නඩත්තු කරගෙන යන්න අරමුදල් සපයා දීමේ ඉලක්කත් එක්ක. එහෙම වැඩකරනකොට මට කීයක් හරි ලැබෙයි. ඒත් මේ දක්වා කිසිම අවස්ථාවක අපට වැරදුනේ නෑ…
ඒ අතරෙ මෙතෙක් දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හදිසි මැදිහත්වීම් කළ යුතු බොහෝ අවස්ථාවලදි අපි මැදිහත් වුනා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද ළමා ශල්‍ය වාට්ටුවේ දරුවො හිටියා සතියකට වඩා පපුව ඇරලා. රුධිර පරීක්ෂණ සඳහා අවශ්‍ය වෛද්‍ය පර්යේෂණ කට්ටල නැතිව. අපි ඒවා අරන් දුන්නා. දරුවන්ට වියලි ආහාර ලබා දෙන වැඩසටහන්, පාසල් උපකරණ අරන් දෙන වැඩසටහන් අපි ක්‍රියාත්මක කළා. පිළිකා රෝහලේ දරුවන්ට අවශ්‍ය ඖෂධ සපයා දිමේ කටයුත්තේ දිගින් දිගටම යෙදුනා.

ප්රශ්නය – එසේනම් දැන් ඔබ මාසෙකට ලක්ෂ 50කට ආසන්න මුදලක් සෙවීමේ වගකීමක් දරනවා …
මේ මුදල හොයන්නේ කොහොමද ?
පිළිතුර – අප නොදන්න දෙයක් තියනවා. සමාජ සේවා කළ හැක්කේ ධන පරිත්‍යාගයෙන් පමණක් නෙමෙයි. මිනිස්සුන්ගේ වත්කම් ධනයට පමණක් සීමා වෙන්නේ නෑ. පුද්ගල සම්බන්ධතා ජාල කළමනාකරණය කියන්නේ සමාජ සේවාවල වැදගත්ම දේ.
අප අපට හම්බවෙන ව්‍යාපාරිකයින්, මිත්රයින්, සමග ගොඩාක් වෙලාවට කරන්නේ අපේ පුද්ගලික ව්‍යාපාරයක් ගොඩනගාගන්න අවස්ථාවක් හොයන එක. නමුත් මා මේ කරන්නේ මා ඇසුරු කරන පුලුල් සමාජයේ සම්බන්ධතා ජාලය මගේ අභිවෘද්ධියට නොවෙයි, සමාජයක අභිවෘද්ධිය වෙනුවෙන් හැසිරවීම.
මම විදේශයකට ගිහින් අපේ මිනිස්සුන්ට කතා කළ හැම වෙලාවකම ඔවුන් මේ කියන දේ වටහා ගත්තා. අසීමිතව උදව් කළා. ලංකාවේ අපට වැඩිය අපේ රටේ තත්ත්වය පිටරට ඉන්න ඔවුන්ට ඈත ඉඳන් පෙනෙනවා. ඔවුන් මේ රටේ සෑම දුර්ග අවස්ථාවකම රටට උදවු කළා. ඒ සම්බන්ධව ඔවුන් ගැන මට තියෙන්නේ අසීමිත ගෞරවයක්.
මම ජූලි සහ අගෝස්තුව ඉන්නේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාවේ. අරමුදල තරකිරීම වෙනුවෙන් සංවිධානය වෙන වැඩසටහන් කීපයකට මම සම්බන්ධ වෙනවා. මේ සියල්ල හරහා ලොකු ආත්ම විශ්වාසයක් තියනවා අපට මේ ව්‍යාපෘති පවත්වා ගන්න හැකිවේවි කියලා. ඇත්තටම මේ සියල්ල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇත්තේ මටත් හිතාගන්න බැරි විදිහට.
ප්රශ්නය – මේ සමාජ සුබසාධන කටයුතුවලදි ඔබ ඉදිරියේ තියන බාධක මොනව ද?
පිළිතුර – වැදගත්ම දේ තමයි අපිට යමක් බාධකයක් වෙන්නේ එය බාධයක් කියලා කල්පනා කළොත්. මේ කටයුතු කරන්න ඕන පුලුල් මනසකින්. අවංක අධ්‍යාශයකින්.
සමාජ සුබ සාධන වැඩ කරන බොහෝ ආයතන එක්කො විශාල වෙළෙඳ ආයතනවල ලාභයෙන් කොටසක් සුබ සාධනය සඳහා වෙන් කරන ව්‍යාපෘති. එහෙමත් නැතිනම් මූල්‍යාධාර සහිත රාජ්‍ය නොවන සංවිධාන. මට එහෙම පදනමක් නෑ. මා මේ කටයුත්ත කරන්නේ මගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කරගන්න පුලුවන් කාලය කැප කරලා . ඒ නිසාම මම ලබන තෘප්තිය ඉතාම විශාලයි.
.මටත් වඩා ඉදිරියට ගිහින් ඒ කටයුතු කරන, තමන්ගෙ ජීවිතයම ලෝකය වෙනුවෙන් කැප කළ පුද්ගලයන් ඉන්නවා. මා ඔවුන්ව දකිනවා. ඔවුන්ව ඇසුරු කිරීමේ භාග්‍ය ලබනවා. ඔවුන් අප්රකටයි. මේ ක්‍රියාන්විතයට කැප වන්න ඕන එකම දෙයයි. විශාල හදවතක් පමණයි.
ප්රශ්නය – පසුගිය කාලේ අපි දැක්කා ඔබ අරගල භූමියේ ඉන්නවා. දැන් අරගලය කියන එක අර්ථ දක්වමින් ඇත්ත සමාජ අපගමනයක අවස්ථාවක් විදිහට නේද?
පිළිතුර – මෙතන දැන් මේ තත්ත්වය ගැන කතා කරන්නේ සමස්ථයේ එක් කොටසක් අරගෙන. හැමොම දැන් කියන්නේ මේ ජනතා නැගිටීම මතුවන්නේ මහා දේශපාලනයකින් කියලා. ඇයි මේ කාටවත් ඉන් එහා පෙළ ගැහෙන සිද්ධි මතක නැතතේ. ඉන්ධන ටික නැතිව, ගෑස් ටික නැතිව, අන්ත අසරණ වෙලා පොලිම්වල පීඩාවට පත්වුන මිනිස්සු නෙමෙයි ද ඉස්සරවෙලාම තමන්ගේ ගේ ඉස්සරහා පාරේ බෝඩ් එකක් අරගෙන හිටියෙ. මුලින්ම විරෝධතාවය ආවෙ ගෝල්ෆේස් එකේ නෙමෙයි. පාරවල්වල. සංවිධානාත්මකව මිනිස්සු මුලින්ම එළියට ආවේ කොහුවලදි. ඒ එළියට බැස්ස හැම මිනිහම පක්ෂ පාට භේදයක් නැතිව ආවේ පාලකයින්ට ඒ අයගේ වගකීම ගැන මතක් කරන්න. සමාජ පරිවර්තනයක් ගැන කතා කරන්න ගත්තේ මේ තත්ත්වය පුලුල්ව අවබෝධ වෙන්න පටන් ගත්තට පස්සේ.
මම එලියට ආවේ නෑ… හිටියෙ එළියෙම තමයි. මගේ තාත්තගේ ඉතාම සමීප මාමා කෙනෙක්. අවුරුදු 85යි. මට කලින් ඔහු ගියා ගෝල්ෆේස් එකට. මම දන්නවා. මගෙ තාත්තා හිටියා නම් මට කලින් ඔහුත් යනවා. ඒ එළියේ අසරණ වෙච්චි මිනිස්සු වෙනුවෙන්. ඔබ දන්නව ද. මම කොළඹ වතු ඔක්කොටම ගියා. මිනිස්සු එක වේලක් කාලා හිටියෙ. මට කියන්න අපි ඒ තත්ත්වයක් ඇතුළෙ බලන් සිටිය යුතු ද කියලා?.
ප්රශ්නය – ඔව් එහෙම කාලයක් තිබුණා. ඒත් ඉතින් දැන් ඕ.කේ වගේ නේ ද?
පිළිතුර – තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්න පාසල් භාණ්ඩ ටික මිලදී ගන්න බැරිනම්, දරුවන්ගේ අධ්‍යාපන වියදමත් කප්පාදු කරලා නම්, ලේඩි රිජ්වේ ඇතුළු රෝහල්වල සැත්කම් සියයට පනහක් නවත්වලා නම්, පිළිකා රෝගීන්ට බෙහෙත් ටික පිටින් ගන්න වෙලා නම්, රෝහල්වල බෙහෙත්ටික නැතිනම්, වැඩිවෙච්ච විදුලි බිල සද්ද නැතිව ගෙවාගෙන, දෙගුණයකට වැඩි මුදලක් දීලා පෙට්‍රල් ටික කෝටා එකට ගහගෙන, දෙගුණයකට වඩා වැඩි වුන ගෑස් ටැංකිය අරන් ඇවිත්, වැඩි වෙලා නැති පඩියෙන් ගෙදර ආර්ථිකය කළමනාකරණය කරගන්න හදන මිනිස්සු හිතනවා නම් දැන් ඕ.කේ කියලා ඇත්තටම මට කියන්න තියෙන්නේ “ගුඩ් ලක්” කියලා විතරයි.
අපි මේ දැන් කතා කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. අපේ මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන්. නූපන් අනාගත පරම්පාරවක් වෙනුවෙන්. මම එළියට ආවේ මොකක්ද අපට තියන සමාජ වගකීම කියලා රටට කියන්න. මම අවසාන වශයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. තමන්ගේ පපුවට අත තියලා අහන්න මෙච්චරකල් අපි තීරණ ගත්තේ අපේ අභිවෘද්ධිය වෙනුවෙන් ද රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ද කියලා. මා විශ්වාස කරනවා මේ රටේ සෑම ක්ෂේත්රයකම වෘත්තිකයො තමන්ගේ පපුවට අත තියලා තමන්ගෙන්ම අහන්න ඕන අපි රට වෙනුවෙන් අපේ කොටස කළා ද කියලා.
අප මේ මොහොතේවත් අපට අවංක විය යුතුව තිබෙනවා. ඒ අවංකකම ඇතිවුනදාට මේ රට යළි ගොඩනැගෙයි…