බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

“ ගුඩ්බායි අංජලී “- මනුස්සකම පිරුණු මිනිස්සුන් ගත් හදවත් සසල කළ තීන්දුව

by editor
දෙසැම්බර් 3, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

සේමාලි කැල්ලපත – නවසීලන්තයේ සිට –

ඒ 2015 වසරයි. නවසීලන්තය තම අසල්වැසි ඔස්ට්‍රේලියාව සමඟින් සම සත්කාරක රට වශයෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ලකලැහැස්ති වෙමින් සිටියේය. ඒ කාල‌යේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන බලධාරිහු තවත් බරපතළ වැඩකට අතගසා සිටියහ. ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට හාහාපුරා කියා තෑගි ලැබෙන අලි පැටික්කියට ඉඳුම් හිටුම් ලැහැස්ති කරමිනි. මේ අලි පැටික්කිය අංජලීය. වයස අවුරුදු 8කි.  නවසීලන්තයේ සිටින බර්මා නම්වූ කෙණෙර ගේ තනි නොතනියට අපේ රටෙන් ලද තෑග්ගකි. අංජලීගේ ගමනින් පසු තවත් අලි පැටික්කියක අපේ රටෙන්ම නවසීලන්තය කරා ගෙන ඒමට ඒ වෙද්දී කටයුතු යෙදෙමින් පැවතිණ. ඇය නන්දිය. වයස අවුරුදු පහකි. මේ දෙදෙනාම උපත ලද්දේ පින්නවල අලි අනාථාගාරයේය.

ශ්‍රී ලංකාවේ සිට මේ දෙදෙනා නවසීලන්තයට රැගෙන ඒමද අලි මුදලක් වැයවන කටයුත්තක් විය. එකල ඒ වෙනුවෙන් වැයවූ මුදල ඩොලර් මිලියන 1.6කි. ඕක්ලන්ඩ් නගර සභාව 2011 දී මෙම අලි ව්‍යපෘතිය සඳහා ඩොලර් මිලියන 3.2ක මුදලක් වෙන් කර තිබිණ. තමන්ටම කියා අලි රංචුවක් හදා ගැනීම, නරඹන්නන් වැඩිකර ගැනීම සහ වනජීවි සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරවීම මෙන්ම අලි පැටවුන් බෝ කිරීම මේ අලි කර්තව්‍යය වෙනුවෙන් නවසීලන්ත බලධාරින් මෙතරම් මුදලක් වෙන්කිරීමේ හේතුව විය.

ටොන් එකකටත් වඩා බරැති දැවැන්තයකු ලෝක ගෝලයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට රැගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. අංජලී රැගෙන ඒමට ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයේ ඇත්ගොව්වන් දෙදෙනෙක් අපේ රටට පැමිණියහ. ඔවුන් කොරීන් සහ ඇන්ඩෘ කොයර්ස් යුවළය. මාස හයක් අපරටේ පින්නවල අලි අනාථාගාරයේ නැවතී සිටි ඔවුහු ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන ක්‍රමවේදයනට අනුව අංජලී පුහුණු කළහ.

  • අංජලීගේ නවසීලන්ත ගමන

2015 අප්‍රේල් මාසයේදී අංජලී අපේ රටේ සිට ඕක්ලන්ඩ් කරා රැගෙන එනු ලැබුවේ එමිරේට්ස් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි. එතැනින් නවසීලන්ත ආරක්ෂක හමුදාවේ සී 130 හර්කියුලස් වර්ගයේ ඇන්ජින් හතරේ ගුවන් යානයකින් ඇය නිරෝධායනය සඳහා නවසීලන්තයට ආසන්න නියු දූපතට රැගෙන ගියේය. මුළු ගමනට ගතවූ කාලය පැය 32කි. වෙහෙසකර ගමනක් වුව අංජලී හොඳින් ආහාර ගනිමින් මුළු ගමනේදීම සන්සුන්ව සිටියාය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

නියු දූපත අඩු ජනගහනයක් සහිත රටකි. පළමු වරට අලියකු දුටු එරට ජනතාවට අංජලී අරුමයක් විය. රඳවා සිටි කාලයේ ඇය දැක ගැනීමට බොහෝ දෙනා පැමිණියහ. ඇය ඉදිරියේ පොල් අතු කඳු ගසා තිබිණ. එහෙත් එරටදී ඇතිතරම් ලද ඇපල් හා අලින් සඳහා දෙන තණකොළ කෑමට ඇය දැඩි කැමැත්තක් දැක්වූවාය.

දින 90ක නිරෝධායන කාලසීමාවකින් පසු ඇය පැමිණියේ ඕක්ලන්ඩ් සත්ව උද්‍යානය වෙතය. අංජලී පැමිණීමට පෙර සත්ව උද්‍යානයේ අලි දෙදෙනෙක් වූහ. ඒ බර්මා හා කාෂින් ය. බර්මා මියන්මාරයේ සිට පැමිණියේ 1990දීය. අංජලී ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයට යද්දී බර්මාගේ වයස අවුරුදු 32කි. උගේ තනිනොතනියට සිටි කාෂින් මියගියේ 2009 දීය. අංජලීගේ නවසීලන්ත ගමනට තවත් හේතුවක් වූයේ බර්මාගේ පාළු කැපීමය. සත්ව උද්‍යාන බලධාරීන්ගේ සිහින සැබෑ කරමින් වැඩි දිනක් යෑමට පෙර අංජලී – බර්මා දෙදෙන සැබෑම මිතුරියෝ වූහ. මොහොතකටවත් දෙදෙනා වෙන් නොකළ ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන බලධාරීහු මේ ආසියානු දැවැන්තයන් දෙදෙ‌නාට ඉතා ඉහළින් සලකමින් උන්ගේ සැපදුක් බැලූහ.

අංජලී හා බර්මා
  • නන්දිගේ නැවතීම

මේ අතරවාරයේ නවසීලන්තය බලා ඒමට සිටි නන්දිගේ ගමන අපරටේ වන සත්ව අයිතීන් සුරකින්නන් ගේ විරෝධය හමුවේ පමාවෙමින් පැවතිණ. එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේනගේ ත්‍යාගයක් ලෙස නවසීලන්තයට ඒමට සිටි නන්දිගේ ගමනේ පමාව ගැන එකල නවසීලන්ත මාධ්‍යය බොහෝ තොරතුරු පළකර තිබිණි.

‘ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයේ ඩොලර් මිලියන 1.6 ක අලියා පිළිබඳ අභිරහස’ , ‘ඕක්ලන්ඩ් සත්ව උද්‍යානය සතුටින් සත්ව අයිතීන් සුරකින්නන් කෝපයෙන්’ , ‘විරෝධතාවය නිසා ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයට එන්නට සිටි ශ්‍රී ලාංකික අලියාගේ ගමන නවතී’, ‘අගමැති ජෝන් කී සහ අලියා ශ්‍රී ලංකා අධිකරණයේ ’….  යනාදී ලෙසින් පළවූ එම පුවත්වලින් කියැවුණේ නන්දිගේ නවසීලන්ත ගමනට එල්ලවන විරෝධයන් ගැනය. අපරටේ වන සත්ව අයිතීන් සුරකින්නන් නන්දි නවසීලන්තයට යැවීමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. ඒ වෙනුවෙන් උද්ඝෝෂණ පැවැත්වූහ. නන්දිට තම පවුලෙන් වෙන්විම හා නවසීලන්තයේ දේශගුණයට අනුවර්තනය වීම අපහසු වනු ඇතැයි යන්න ඔවුන්ගේ තර්කය විය. අවසානයේ නන්දිගේ නවසීලන්ත ගමන නවත්වමින් අධිකරණ නියෝගයක් පැනවිණ. නන්දි අප රටේම නතරවිය. ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයට ආසියානු අලියකු අහිමි විය. නන්දිත් සමඟින් තම ආසියානු අලි පවුල තුන දක්වා වැඩිකර ගැනීමට කල්යල් බලමින් සිටි ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන බලධාරීන්ගේ සිහින ද බොඳව ගියේය.

“ අලි වනජීවි සහ ස්වභාවික ලෝකයේ අසාමාන්‍ය හා ශක්තිමත් තානාපතිවරුන් හා සමානයි. නන්දි අපේ අලි පවුලට එක්කර ගැනීමේ එක් අපේක්ෂාවක් වූයේ අංජලී සහ බර්මා  සමඟ එක්වී අනාගත තිරසාර අභිජනන රංචුවක කොටසක් බවට පත්කිරීමයි.” නන්දි ගේ ගමන නැවතීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඒ අවදියේ ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජොනතන් විල්කෙන් පවසා තිබිණ.

කෙසේවුව අංජලී – බර්මා එකිනෙකාට ඇලුම් කරමින් ඉතා මිත්‍රශීලීව හැසිරෙද්දී සත්ව උද්‍යාන බලධාරීහු සිය අලි පරපුර වැඩිකර ගැනීමට සිහින දුටුවහ. සත්ව උද්‍යානයේ අලින් බාරව සිටි ඇන්ඩෘ කොයර්ස්ට මෙහිදී මුලින්ම පැවරුණේ  අංජලී නවසීලන්ත ජීවිතයට හුරුකරවීමටය. එසේම සත්ව උද්‍යානයේ ඉහළම ආකර්ෂණය දිනාගන්නා සතාබවට අංජලී පත්කිරීම ද ඔවුන්ගේ අරමුණ විය.

ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයේ සතුන් හැසිරවීමේ හා පුහුණු කිරීමේ වැඩ පිළිවෙළ සත්ව නිදහස මුල්කරගත්තකි. එහිදී සතුන්ට උපරිම නිදහස භුක්ති විඳිය හැකි අතරම අමුත්තන්ට ද සතුන් වෙත නිදහසේ ළඟාවීමේ හැකියාව ඇත්තේය. ඒ සඳහා දියුණු ක්‍රමවේද භාවිත කරන අතර සතුන්ට අමතන්නේද ආදරයෙනි. දයාවෙනි. මෙනිසා ස්වාමියා හා සතා අතර ගොඩනැඟෙන්නේ දැඩි බැඳීමක් හා සෙනෙහසකි.

වැලි නාමින් කෙළිදලෙන් ගත කරන අංජලී හා බර්මා

මිතුරියන් සේ සිටියත් බර්මා අංජලීට වඩා වයසින් බොහෝ වැඩිය. බොහෝ අවස්ථාවල බර්මාගෙන් අංජලීට වැඩිහිටි සතෙකුගෙන් ලැබෙන රැකවරණය ලැබෙන බව සත්ව උද්‍යාන බලධාරීන්ට තේරුම් ගියේය. බර්මා සත්ව අලින්ගේ චර්යා රටා 50ක් පමණ ඒ වෙද්දී දැනසිටි අතර අංජලීට පුහුණුකරුවන්ගේ විධානවලට අවනතවීමේ දී බර්මාගේ සහාය ලැබිණ. ඒ අතරම ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන පුහුණුකරුවෝ රටේ ආදිවාසී ජනතාවගේ භාෂාවේ වදන්ද අංජලීට හුරු කළහ.

  • අංජලීගේ ආකර්ෂණය

නවසීලන්ත ජනතාවට අලින් ආගන්තුකය. මෙනිසා සත්ව උද්‍යානයට අලුතින් අලියකු පැමිණීමේ පුවතත් සමඟ ඇදී ආ නරඹන්නන් සංඛ්‍යාවද වැඩිවිය. අංජලී නරඹන්නන්ගේ ජනප්‍රියතම හා වඩාත් ආදරය දිනාගත් සතා බවට පත්වීමට වැඩි කලක් ගත නොවීය. කාලය ගත වෙද්දී අංජලී හා බර්මා සත්ව උද්‍යානයේ නිදැල්ලේ හැසිරෙන තැනට පත්වූ අතරම කුඩා ළමයි මෙන්ම වැඩිහිටියෝ පවා ඔවුන්ට ළංවී අතපත ගෑමට පෙලඹුණහ.

සත්ව උද්‍යාන බලධාරීන් ද බර්මා හා අංජලී වෙත දක්වන්නේ දැඩි සෙනෙහසකි. උන් දම්වැල් හා විලංගුවලින් තොරව සත්ව උද්‍යාන භූමියේ හැසිරෙන අතර කෙළිදෙලෙන් කල් ගෙවති. වසරේ මාස හයකට වඩා වැඩි කාලයක් සීතලෙන් යුතු නවසීලන්තයේ දේශගුණයට ද අංජලී වැඩිකල් නොයවාම හුරුවූවාය. සීත කාලයේ දී උන් වෙනුවෙන් සැකසූ වැලි බිමක වැලි නාමින් සීතල මඟහරවා ගැනීමට මේ අලි දෙන්නා හුරුව සිටිති.

අංජලී ආදරණිය මිනිසුන් අතර
  • අලි වෙනුවෙන් ගත් මානුෂික තීන්දුව

දැන් අංජලී නවසීලන්තයට පැමිණ වසර පහකි. වයස අවුරුදු දාහතරකි. අලින් මෙරටට රැගෙන එමින්  ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන බලධාරීන් අපේක්ෂා කළ මූලිකම දේ එනම් අලි පැටවුන් බෝකර ගැනීම දැන් සිහිනයක් පමණක් වී ඇත්තේය. එනිසා අංජලී හා බර්මා වෙනුවෙන් වැඩිකල් නොයවාම තීන්දුවක් ගැනීමට ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන බලධාරීනට සිදුවිය. එම තීරණය ඔවුන් පසුගියදා දැනුම් දුන්නේ නවසීලන්ත මාධ්‍ය යළි අවදි කරවමිනි.

එම තීරණය වූයේ අලින් දෙදෙනාම උන්ට ගැළපෙන පවුල් පරිසරයකින් යුතු රටකට ආපසු යැවීමය. අංජලී හා බර්මා ආපසු වෙනත් රටකට යැවීමේ කතාවට නවසීලන්ත මාධ්‍ය එදා අංජලී මෙරටට පැමිණෙද්දී සහ නන්දිගේ ගමන නැවතුණු දා දුන් මාධ්‍ය ප්‍රචාරයට හා සමාන පුළුල් ප්‍රචාරයක් දුන්නේය.

ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන බලධාරීන් එක්ව ගත් මේ තීරණය සම්බන්ධයෙන් සත්ව උද්‍යානයේ වත්මන් අධ්‍යක්ෂ කෙවින් බුලේ මාධ්‍යයට මෙසේ අදහස් පළකර තිබුණේය.

“ අපි ගත්තේ අපේ හදවත් කම්පා කරවන තීරණයක්. දැන් අංජලී අපේ ජීවිතත් සමඟ බැඳිලා. පසුගිය වසර පහ තිස්සේ අප උත්සාහ ගත්තේ අංජලීගෙන් පැටියෙක් ලබා ගන්නයි. ඒත් එය කර ගන්න අපට හැකිවූයේ නැහැ. එය අපගේ පාලනයෙන් ඔබ්බට ගිය කරුණක්. එහි තේරුම මේ අලින්ට අවශ්‍ය දිගුකාලීන අනාගතය අපට තවදුරටත් ලබාදිය නොහැකි බවයි. ඒ වගේම අංජලීගෙන් පසු ශ්‍රී ලංකාවෙන් රැගෙන ඒමට සිටි අනෙක් අලියා ගේ ගමනත් නතර වුණා. ඒනිසා අපේ සත්ව උද්‍යානයේ අලි සංඛ්‍යාව දෙදෙනාට සීමා වෙලා.”

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ප්‍රජනන විශේෂඥවරුන් සමඟ එක්ව 2017 සහ 2019 අතර කාලයේදී අංජලී සඳහා කෘත්‍රිම සිංචන පහක් සිදු කළද ඒ කිසිවක් සාර්ථක නොවූ බවත් එහි තේරුම නවසීලන්තයට තවදුරටත් එම අභියෝගය ජයගත නොහැකිය යන්න බවත් බුලේ පවසා තිබිණ.

“ අංජලීගේ දැන් වයස අවුරුදු 14යි. ඇගේ අනාගත සෞඛ්‍ය සහ යහපැවැත්ම වගේම ප්‍රජනන හැකියාව ආරක්ෂා කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගතයුතු යැයි අප තීරණය කළා. මේ වයසේදී අංජලී ඉක්මනින්ම ගැබ් ගැනීම සිදුවිය යුතුයි. ගැහැනු සතුන් නිසි වයසේදී ඉක්මනින්ම පැටවුන් බිහිකිරීම සිදු නොවුණහොත් ඔවුන්ට දිගුකාලීන ප්‍රජනක ගැටලු ඇතිවිය හැකියි. අංජලීට එසේවන්නට ඉඩදිය නොහැකියි. ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයේදී ඇගෙන් පැටවකු ලබා ගන්නට කළහැකි සියලු දේ කළත් පලක් වූයේ නැහැ. එනිසා පිළිගත් සත්ව උද්‍යාන වැඩ සටහනක් යටතේ අංජලී පරම්පරා කීපයක අලි පවුල් රංචුවක ජීවත් වියහැකි රටකට යැවීමට අප තීරණය කළා. එහිදී ඇයට ස්වභාවිකව පිරිමි අලින් සමඟ එක්වී තමන්ගේම කියා පැටවුන් බිහිකිරීමට හොඳ අවස්ථාවක් ලැබේවි.”

  • දරාගත නොහැකි තීරණය

බුලේ ගේ සත්ව උද්‍යාන ජීවිතය වසර 25කට ආසන්නය. ඒ කාලයේදී තමන්ට සතුන් සම්බන්ධයෙන් ගන්නට සිදුවූ දරාගත නොහැකි තීරණය අංජලී ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන පවුලෙන් වෙන් කිරීමට ගත් තීරණය යැයිද ඔහු පැවසීය. එම තීරණය ගැන සත්ව උද්‍යාන කාර්ය මණ්ඩලය පවා වේදනාවට පත්ව සිටියත් අංජලීගේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් නිසා ඔවුහු නිහඬව පසුවෙති.

අංජලී නවසීලන්තයට රැගෙන ඒම අභියෝගයක් වූවාසේම අලින් දෙදෙනකු යළි වෙන රටකට යැවීමද දැන් අලි ප්‍රශ්නයක් ව තිබේ. එහෙත් ක්‍රමවත් සැලසුමකින් හා අලින් දෙදෙනා ලබා ගන්නා රටේ සත්ව උද්‍යාන කාර්ය මණ්ඩලයත් සමඟ එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් අලින් දෙදෙනා සැප පහසුවෙන් යුතුව හුවමාරු කර ගැනීමට ඕක්ලන්ඩ් සත්ව උද්‍යාන බලධාරීහු අපේක්ෂා කරති.

“අංජලීට හා බර්මාට අපේ සත්ව උද්‍යානයේ අලින්ගේ වැඩ සටහන යටතේ ලබා දුන් යහපත් හා සතුටින් පිරි ජීවිත ගැන අපට ආඩම්බරයි. ඒ වගේම මේ අලින් අපේ සත්ව උද්‍යානයට විශේෂයි. පසුගිය කාලය පුරාම ඔවුන් නැරැඹීමට විශාල පිරිසක් පැමිණියා. අලින් හා ඔවුන් අතර ඇතිවූයේ අපූරු බැඳීමක්. ඇතැම් නරඹන්නන් මේ අලින් දෙදෙනා වෙතින් ඉවත්වූයේම නැහැ. සතිපතා වගේ උන් සමඟ කල්ගත කරන්න පැමිණි අයද සිටියා. අපගේ අලින් බාර කණ්ඩායම ද සුවිශේෂයි. ඔවුන්ගේ කුසලතා, කැපවීම හා ඔවුන් වෙතින් අලින් ලද රැකවරණය ඉතා ඉහළයි. නරඹන්නන් හා‌ අලින් අතර සහයෝගතාව ඇති කිරීමට අලින් බාර කණ්ඩායම වෙතින් ලද මඟ පෙන්වීමද හේතුවුණා. අප කණ්ඩායමට මේ අලින් දෙදෙනාගෙන් වෙන්වීම අපහසුවී ඇත්තේ ද අප අතර ඇතිවූ බැඳීම නිසයි. එහෙත් අලින්ගේ යහපත වෙනුවෙන් අප මේ තීරණය ඉක්මනින්ම ගත යුතුවුණා. එනිසා අප අපගේ හැඟීම් නොසලකා මේ තීරණයට එලඹුණා.”

අලින් දෙදෙනා යවන රට ගැන තවමත් නිශ්චිත තීරණයකට එළඹ නැතත් ඔවුන්  ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයෙන් සමු ගන්නා දිනය නම් වැඩි ඈතක නොවේ.

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් මර්ධන දේශීය ඖෂධයේ සායනික පරීක්ෂණ දිගටම..

Next Post

“රටවල් ගණනාවක් ෆයිසර් කොරෝනා එන්නත ඇනවුම් කරද්දී ලංකාව කරන්නේ මොකක්ද?”

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.