ලලිත් චාමින්ද –
සිංහල හා හින්දු අලුත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි ආහාර විශේෂය කැවුම්ය. අවුරුදු කාලයට මෙරට නිවෙස්වල කැවුම් පිසීම සිදුවන්නේ ගජරාමෙටය. මේ කාලයේදී කෝදුරුවන්ද රැළ පිටින් නිවෙස්වලට ඇදී එන අතර, ඔවුන්ගෙන් කැවුම් ආරක්ෂා කර ගැනීම සඳහා සිංහල ගැමි ලියෝ අපූරු උපක්‍රමයක් භාවිත කරති. ඒ කෝදුරුවන් සඳහාම වෙන්වූ ‘කෝදුරු කැවුමක්’ නිවසේ එල්ලා තැබීමයි. කැවුම් පිසීම සඳහා තෙල් වළඳ ලිප තබා මුලින්ම සාදනු ලබන කැවුම ‘කෝදුරු කැවුම’ ලෙස නම් කෙරෙන අතර, අවසානයට සාදනු ලබන කැවුම ‘දිය කැවුම’ ලෙස හඳුන්වයි.
සැබවින්ම සිංහල කැවිලි වර්ගවලට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්නට ලැබී ඇත්තේ මහනුවර යුගයේදීය. ඒ සඳහා ද්‍රවිඩ ආභාසය මෙන්ම පෘතුගීසි සහ ලන්දේසි සබඳතාද හේතු වන්නට ඇතැයි සැලකේ. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට හඳුන්වා දුන් කැවිලි වර්ග පොළොන්නරු යුගයේදීද පැවති බවට විශ්වාසයක් පවතී.

නොක්ස් කැවුම් ගැන කී කතාව
මහනුවර යුගයේ කැවිලි වර්ග අන් කවර වකවානුවකටත් වඩා බහුල වුවද, ඒවා එකවර රට පුරා ව්‍යාප්ත වූයේ නැත. පසුව ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමඟ අලුත් ආහාර වර්ග සිංහලයන් අතර ප්‍රචලිත විය. කෙසේ වුවද, සිංහලයන්ගේ කැවිලි අතරින් වඩාත්ම මිහිරි ආහාරය කැවුම් බව රොබට් නොක්ස් සඳහන් කර ඇත. ඔහු සිය ‘එදා හෙළ දිව’ (An Historical Relation of the Island Ceylon) කෘතියේ සිංහලයන්ගේ රසකැවිලි පිළිබඳ මෙසේ සටහන් කර තිබේ:
“ඔවුන්ගේ රසකැවිලි විවිධය. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා කැවුම්, සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා, ගුලි ගසා, කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට, පැහෙන තෙල් ඇතිලියට දමා පදමට බැදගත් පසු තෙලෙන් ඉවතට ගනිති.”
ලන්දේසීන් ලංකාවට මුලින්ම පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක් කිරීමට රිසි වූ මහනුවර රජු, ඔවුන් වෙත කැවුම් පිස යවන ලෙස රාජපුරුෂයන්ට නියම කළේය. එම කැවුම් රස බැලූ ලන්දේසීන් පුදුමයට පත්ව, මෙතරම් ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නිපදවිය නොහැකි බවත්, මේවා ගස්වලින් කඩා ගන්නා පලතුරු වර්ගයක් දැයි විමසූ බවත් ජනප්රවාදයේ සඳහන් වේ.
අග්ගලා
අපේ සිංහල කැවිලි අතර ඇති අග්ගලා පිළිබඳවද රොබට් නොක්ස් සඳහන් කරයි. බැදපු සහල් පිටි හා පැණි අනා, එයට ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු ස්වල්පයක් එක් කර මෙම අග්ගලා සාදා ගනු ලැබේ. මේවා ගුලි කළ පසු තරමක් තද ස්වභාවයක් ගනී. අග්ගලා යනු දීර්ඝ කාලයක් නරක් නොවී තබාගත හැකි ආහාරයකි.
මෙම කැවිලි වර්ගය දඹදිව පවා බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. අතීතයේ මිනිසුන් පා ගමනින් දින ගණනාවක් වන්දනාමාන සඳහා හෝ වෙනත් ගමන් බිමන් ගිය බැවින්, අතරමඟදී ආහාර සොයා ගැනීම දුෂ්කර විය. මේ නිසා අග්ගලා සාදාගෙන යාමේ පුරුද්දක් ඇති විය. අග්ගලා යනු දුප්පත් පොහොසත් භේදයකින් තොරව කවුරුත් අනුභව කළ කැවිලි වර්ගයකි. ගැමි ජනවහරේ එන ” වෙහෙර ගිල්ල අලියට පිලිමේ අග්ගලාවක්ලු” යන කියමනෙන් අදහස් වන්නේ යම් දැවැන්ත කාර්යයක් කළ අයෙකුට තවත් සුළු දෙයක් කිරීම අපහසු නොවන බවයි.
යක්පැටි
නුවර යුගයේ ඉතා ජනප්‍රියව පැවති, එහෙත් වර්තමානයේ ඉතා දුර්ලභ කැවිලි වර්ගයක් ලෙස ‘යක්පැට්’ හැඳින්විය හැකිය. හාල්පිටි, පොල් සහ හකුරු යොදා සාදන මෙය ඉතා රසවත් ආහාරයකි. හාල්පිටි පැණි සමඟ අනා ගුලි කොට කොළයක ඔතා වණ්ඩුවේ තම්බා ගන්නා මෙය ඉතා මෘදුය.
එය අනුභව කරන විට හකුරු සමඟ සුදු පාන් අනුභව කරනවා වැනි හැඟීමක් දැනෙන බව නොක්ස් පවසා ඇත.
ගණදෙවි හෑල්ලේද යක්පැටි ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්ටෝරු කවියෙන් මෙසේ දක්වා ඇත.
අග්ගලා කොමලී නා
තල කැරලි විළ දී නා
මල් කැවුම් රොට් යෙ නා
වෙල්ල වැසිමුත් ත නා
පුලුබී බෝජන තනා
ලාලු යක් පැට් යෙනා
කිරි උණ්ඩ පු තනා
අක්සුණු ද ඉසි මිනා
එදා දෙවියන්ට පිදූ කැවිලිවර්ග සියල්ලම මෙහි දක්නට ඇත. අග්ගල තල කැරලි, විළඳ මල්කැවුම්, රොට්, වෙල්ල වැහුම් පුලුබි, බෝජන ලාලු යක්පැට් කිරි උණ්ඩ ඒ කැවිලි වර්ගයන්ය.
අතිරස සහ කැවුම් වර්ග

කැවිලි වර්ග අතර අතිරස යනු ඉතා රසවත් ආහාරයකි. “අතිරස තිත්ත රසයි – පැමිණි දුක් පැණි රසයි” යන කියමන නිර්මාණය වී ඇත්තේද ඒ නිසාමය. අලුත් අවුරුද්ද උදාවීමට පෙර ගෘහණියෝ කැවුම්, අතිරස ආදී කැවිලි වර්ග කලින්ම සකස් කර තබති.
අපේ ගැමි කාන්තාවන් විවිධ මාදිලියේ කැවුම් සකස් කිරීමට දක්ෂය. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය හා ක්‍රම අනුව ඒවාට විවිධ නම් ලැබී ඇත. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම් සහ මුං කැවුම් ඒ අතර වේ.
වළස්මුල්ල ප්‍රදේශයටම ආවේණික ‘මුකුදු’ නම් කැවුම් වර්ගයක්ද ඇත. නාරං ගෙඩියක් තරම් ගුලියක් තනා ඒ තුළට පැණි පොල් පිරවීමෙන් සාදන නිසා මේවා නාරං කැවුම් ලෙසද හැඳින්වේ. අතින් හැඩ නොකර හැන්දෙන්ම තෙලට දමා සාදන කැවුම් ‘හැඳි කැවුම්’ ලෙසත්, උඩරට පළාතේ ‘අච්චු කැවුම්’ හෝ ‘මුරුක්කු’ ලෙසත් හඳුන්වන කැවිලි වර්ග තිබේ.
කොණ්ඩයක් මෙන් උඩට නෙරා ගිය කොටසින් යුතු කැවුම ‘කොණ්ඩ කැවුම්’ වන අතර, කොණ්ඩයක් නැති කැවුම ‘අතිරස’ වේ. මුං පිටි යොදා සාදන මුං කැවුම්, මුං අතිරස, මුං අලුවා, මුංගුලි හෝ මුං කැරලි ලෙසද හඳුන්වයි. මාතර ප්‍රදේශයේ ‘සව්බොරවා’ ලෙස හඳුන්වන කැවිලි වර්ගය රත්නපුර පළාතේ ‘සව්බර’ ලෙස හැඳින්වේ.
අවුරුදු කාලයට කොතරම් දුප්පත් නිවසක වුවද කැවුම් සහ කිරිබත් පිළියෙල කිරීමටත්, අලුත් ඇඳුම් පැළඳුම් ගැනීමටත් ගැමියෝ අමතක නොකරති. නිවෙස්වලට කැවිලි පෙවිලි රැගෙන යාමේ සිරිත නිසා මිනිසුන් අතර සහයෝගය හා සමාදානය වර්ධනය වේ.
සැබවින්ම රසකැවිලි සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ අලුත් අවුරුදු සමයේදීය. නාගරික වැසියන් කැවුම් කඩයෙන් මිලදී ගැනීමට පුරුදුව සිටියද, ගැමි නිවෙස්වල තවමත් මේවා නිවෙස් තුළම නිපදවේ.
කැවුම් නිසා සිංහල බස් වහරද පෝෂණය වී ඇත. “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” මේ එවැනි ජනවහරකි. සිංහලයා කොයිදේට අදක්ෂ වුවත් කැවුම් කෑමට ශූරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේය.
එකල ගම්වල කොල්ලො කුරුට්ටෝ පවා අප්පුඩි ගසමින් “අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක් දියත්තා” යනුවෙන් කැවුම් ඉල්ලූහ. ආස්මි හා කොකිස් අවුරුදු කෑම මෙසයට නැතිවම බැරි කැවිලි වර්ගයකි. එකළ ගම්බද කොල්ලෝ කුරුට්ටන් ගමේ සිටි ඇලිස් අක්කාට ඇලිස් බැලිස් පරන කොකිස් යනුවෙන් කැගසනු ලැබුවේ විහිළු කරමිනි.
කෙසේ වුවද අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇත්තේය. කැවුම් ඉවිමට සමත් කාන්තාවක් ගමකින් සොයා ගැනිමද ඉතාම අපහසු කටයුත්තකි. ගාල්ලේ කිරින්දගොඩ පදිංචි අශෝකා ආරියවති කැවුම් ඉවිමට දක්ෂ තැනැත්තියකි.
“සිනි, පොල්තෙල් ආදි අමුද්‍රව්‍යවල මිල ඉහලයාම නිසා කැවුම් ඉවිම ද ගැටලුවක්. මම නම් කැවුම් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 40ක මුදලකට . ඇණවුම්නම් ගොඩක් තියෙනවා. නමුත් කැවුම් උයන එක පහසු නැහැ. ඇය කිවාය.”







