විරෝධතාවක් අතරතුරේදී පොලිස් නිළධාරියෙකු වැළඳ ගැනීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වෙන බවත් එහෙත් ඒ අවස්ථාවේදී එම ක්‍රියාව නොකොට පැත්තකට වෙන ලෙස කිසිවෙකු තමාගෙන් ඉල්ලා නොසිටි බවත් සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
අද මාධ්‍ය අමතමින් ඇය ප්‍රකාශ කළේ “ඔවුන්ටත් තියෙන අපිට තියෙන ප්‍රශ්නමයි. පොලීසිය බැටන් හා වෙනත් ආයුධ රැගෙන එද්දී අපි සාමකාමීව ඔවුන් නවත්වන්නට උත්සාහ කරනවා..” යනුවෙනි.
ජනතා විරෝධතාවන් අතරේදී උපක්‍රමයක් ලෙසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් නිළධාරීන් වැළඳ ගනිමින් ඔවුන් අපහසුතාවයට පත් කරන බවට සහකාර පොලිස් අධිකාරී නෙවිල් ඩී සිල්වා, කුරුඳුවත්ත පොලීසිය සමඟින් අධිකරණය හමුවේ පෙනී සිටිමින් මින් පෙර දී චෝදනා එල්ල කළේය.
මෙලෙස ඔහු අදහස් පළ කළේ පසුගිය සඳුදා (14) කොළඹ 7 ප්‍රදේශයේ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
එහිදී ඔහු සඳහන් කළේ අවස්ථා ගණනාවකදී රාජකාරියේ යෙදී සිටින පොලිස් නිළධාරීන් ඇය වැළඳ ගත් බවත් මෙය අපරාධ හැසිරීම් රටාවක් බවට පොලීසිය විශ්වාස කරන බවත්ය.







