මන්නාරමේ යොධ වැවේ වෑකන්දේ තැනින් තැන අඟල් තුන බැගින් වූ පැලීම් ඇතිවී තිබෙනව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

ඇති වී තිබෙන අවදානම සලකා කිලෝ මීටර පහක් පමණ දිග මෙම වෑකන්දේ සිදුවී ඇති පැලීම් සම්බන්ධව වහාම නිශ්චිත ඇගයීමක් කරන බවත් මේ වනවිට ඇස් මායිමේ පෙනෙන ආකාරයට අඟල් 03ට ආසන්න පැලීම් 25ක් පමණ නිරීක්ෂණය කළ බවත් මහාචාර්යවරයා ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.
ලංකාවේ උතුරුමැද සියලුම ඇල මාර්ග සහ කුඩා මධ්‍යම විශාල වැව් ජලයෙන් පිරී ඉතිරී යනවිට ඒ සියලු ජලය මන්නාරමේ යෝධ වැව වෙත ගමන් කරන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

කඳු හො ස්ථාවර පර්වත දෙක්ක යාකරමින් හදන වැව්වල වෑ කඳු නිර්මාණය කිරීමේ තාක්ෂණය මන්නාරම වැනි මුහුද ආශ්රිත තැනි බිම්වලදී ප්‍රායෝගික කළ නොහැකි පසුබිමක ලංකාවේ දිගම අඛණ්ඩව පැතිරුණ පස්වලින් නිර්මාණය කර ඇති මේ වෑ කන්ද නිරන්තර නඩත්තුවේ වැදගත්කම මහාචාර්යවරයා අවධාරණය කරයි.
එමෙන්ම වෑ කන්ද මතින් නිරන්තරව බර වාහන ගමන් කිරීම නිසා ඇතිවන ආතතිය වේල්ලට අහිතකර ලෙස බලපාන බවත් අසූව දශකයේ මුල කන්තලේ වෑකන්ද කඩාගෙන ගියේත් මෙවැනි තත්ත්වයන් තුළ බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි..
මේ ආකාරයටම පරාක්‍රම සමුද්‍රය හා ගිරිතලේ වැව සම්බන්ධව අවධානය යොමු කළ යුතු තත්ත්වයක් ඇති බවත් හෙතෙම අවධාරණ කරයි.







