මනම්පිටිය නිමල් ජයරත්න –
ගසක බැඳ සිටි කිරි ගවයෙක් ගසේ බැඳි ආකාරයටම හිස සහ ඇටකටු පමණක් ඉතිරිවන සේ පණ පිටින් මස් කරගෙන ගිය නිද්දිත තිරිසනුන් පිළිබඳ අපරාධයක් දිඹුලාගල කජුවත්ත ගම්මානයෙන් අද වාර්තා වී ඇත.
මෙම නින්දිත අපරාධය සිදුවී ඇත්තේ අද අලුයමය. හඬාගෙන අරලගංවිල පොලිසියට පැමිණි කිරිගොවියෙකු විසින් මේ අපරාධය පිළිබඳ පැමිණිලි කර තිබේ.
කිරි ගවයාගේ හිස, ඇටකටු, බැඳ සිටි කඹය පමණක් ඉතිරි වන පරිදි ගවයාගේ සියලු මස් අපරාධකරුවන් විසින් සුරාගෙන ගොස් තිබිණි.
දිඹුලාගල කජුවත්ත අංක 351 ලිපිනයේ පදිංචි 57 වියැති තිදරු පියකු වන ආර්.ඩී. ඩේවිඩ් විසින් 1995 වසරේ සිට කිරිගව පාලනය කරන අතර ඔහු විසින් ඇතිකර කරන ලද අවුරුදු හතරක් පමණ එළදෙනෙකු මෙලෙස අමු අමුවේ කපාගෙන ගොස් ඇති අරලගංවිල පොලිසිය පවසයි.
කිරි ගොවියාගේ බිරිය වන එම්. ජී. දයාවතී මහත්මිය පැවසුවේ තමන් රැකියාවක් වශයෙන් කිරිගව පාලනය කරන බවත් කිසිදු දිනෙක මෙවන් ඛේදවාචකයක් සිදුනොවූ බවත්ය.
, මෙම සහගහන අපරාධය සිදුකළ අපරාධකරුවන් වහාම අත්අඩංගුවටගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ.,
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශයට භාර සහකාර පොලිස් අධිකාරී ශානක ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් අරලගංවිල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටි.ඩී. එස්.කේ. ජයතිලක ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.







