ලලිත් චාමින්ද –
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් රාජ්ය හා පුද්ගලික ආයතන සඳහා බදු පදනම යටතේ ලබාදුන් ගබඩා 66ක් සදහා හිඟ ගබඩා කුලී වශයෙන් එම ආයතනවලින් රුපියල් දසකෝටි අනුහතරලක්ෂ හැත්තෑ හයදහස් තිස්නමයක මුදලක් (109,476,039) අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 දින වනවිට මෙකි හිඟ බදුකුලි ආදායම අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ආහාර කොමසාරිස් දෙපාර්තමෙන්තුව සතු ගබඩා 66ක් රාජ්ය හා පුද්ගලික ආයතනවලට කුලී පදනම මත ලබා දී තිබුණි. මෙම හිඟ කුලිය මාස තුන ඉක්මවු ගබඩා 16ක් වෙනුවෙන් අයවිය යුතු මුදල රුපියල් 36,647,433 ( තුන් කෝටි හැට හය පක්ෂ හතලිස් හත් දහස් හාරසිය තිස් තුනක්) විය.
විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව රාජ්ය ආයතන 12ක් විසින් ගොඩනැගිලි 123ක් පසුගිය කාලයේ දි බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුණි. මින් රාජ්ය ආයතන 10ක් විසින් ගොඩනැගිලි 87ක් බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුනද අදාළ බදුකුලිය රජයේ තක්සේරු දේපාර්තමේන්තුව මගින් .තක්සේරුකොට නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රාජ්ය ආයතන 08ක් විසින් ගොඩනැගිලි 85ක් පුද්ගලික පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි ඇති අතර ඉන් සියයට 95ක් අදාල බදු කුලි වටිනාකම තක්සේරු කර නොමැති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.







