ලලිත් චාමින්ද
-
අත්‍යාවශ්‍ය සේවාවලිනුත් හෙදියන් ඉවත් වූ බව වෛද්‍යවරු කියති… මාතෘ රෝහල අනතුරේ… වර්ජනයට මුල අත්සන් ප්‍රශ්නයක්…
ගාල්ල මහමෝදර මාතෘරෝහලේ පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන් විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය යටතේ ඇති වෙනම පොතක අත්සන් තැබීමට විරෝධය දක්වා රෝහලේ හෙදි නිලධාරිනියන් විසින් අද (29) උදැෑසන සිට සේවයෙන් ඉවත්විම නිසා රෝහලේ ගැබිනි මව්වරුන් හා කුඩා දරුවන් දැඩි දුෂ්කරතාවයට පත්වුහ.
හෙදි නිලධාරිනියන් සේවා කටයුතු වලින් ඉවත්වීම නිසා හදිසි සැත්කම් හැර අනිකුත් සියලුම සැත්කම් නතරවී ඇති අතර ගැබිනි මව්වරුන්ගේ සායන පවා මෙම තත්වය නිසා පැවැත්වීමට නොහැකිවී ඇත.
ගැබිනිමව්වරුන් හා දරුවා බේරාගැනීමේ සැත්කම් පමණක් සිදුකරන අතර අනිකුත් සියලු සැත්කම් නතර වි ඇත. කෙසේවුවද රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ හෙදි නිලධාරිනියන් හදිසි සේවා කටයුතු වලින් පවා ඉවත්වී ඇති බවත් මෙම තත්වය නිසා ගැබිනිමව්වරුන් හා කුඩා දරුවන් දැඩි අවධානමකට ලක්ව ඇති බවත්ය. රෝහලේ වාට්ටුවල කටයුතු පවා කිරීමට මෙම තත්වය නිසා නොහැකිවි ඇති බවද වෛද්‍යවරු පවසති.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් නීත්‍යානුකුල පොතේ අත්සන්කරන තෙක් මෙම විරෝධතාවය අඛණ්ඩව කරගෙන යන බැව් රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමයේ උප සභාපතිනී රුපා රංජනි ස සහන් කළාය.
ඇය මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය.
“පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන් වෙනම පොතක අත්සන් කිරීම සම්බන්ධයෙන් කාලයක සිට ගැටුම් තිබුණා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වුනේ නැහැ. මේ ගැටලුවට විසඳුම් ලබා දුන්නේ නැහැ.
මහමෝදර රෝහල සඳහා විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් පත්කිරීමත් සමග පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇය යටතේ ඇති වෙනම පොතන අත්සන් කිරිමට කටයුතු කළා. මිට පෙර විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනිය යටතේ ඇති පොතේ තමයි අත්සන් කළේ. “
“අපි කියන්නේ සියලුදේනා විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනියක් යටතේ ඇති පොතේ අත්සන් කළයුතුයි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඒ අයුරින් කටයුතු නොකළහොත් අපේ විරෝධතාවට අඛණ්ඩව කරගෙන යනවා. දකුණු පළාතේ අනිකුත් රෝහල් තුළත් ක්‍රියාත්මක කරනවා. පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියක් නිත්‍යානුකූල පොතේ අත්සන් කළහොත් හෙට සිටි විරෝධතාවය නතරකරලා සේවයට වාර්තා කරනවා. “
“මේ පිළිබඳ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ දි සාකච්ඡාවක් පැවැත්වුවා. සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයා දැනුම් දුන්නා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනිය යටතේ ඇති පොතේ අත්සන් කළයුතුයි කියලා“ යැයි ද රුපා රංජිනී සඳහන් කළාය.
මේ පිළිබද ගාල්ල මහමෝදර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.බී විමලසේනගෙන් අප කළ විමසුමකදි ඔහු මෙසේ පැවසුවේය.
“මෙම ගැටුම පිළිබඳ දේපාර්ශවයම කැඳවා සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද පස්වරුවේ දි පැවැත්වුවා. දේපාර්ශවයටම අපේ තිරණ දැනුම් දිලා තියෙනවා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. අපි සුභවාදිව බලාපොරොත්තුවෙනවා මෙම ගැටලුව කඩිනමින් විසඳේවි කියලා. “ යැයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.







