-
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්…පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ සිසුවෙක්…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පේරාදෙණිය පාළමෙන් මහවැලි ගඟට පනින ලද බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සිසුවා පාළමෙන් පහළට පනිනු දුටු බව කියන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදාව ජලයේ ගිලී අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා ඊයේ (27) පස්වරුවේ සිට මෙහෙයුමක් දියත්කර තිබේ.
නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර (24) නැමැති ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු මෙලෙස අතුරුදන්ව තිබෙන බව පොලීසිය පවසයි.
සිසුවාගේ බෑගය පාළම අසළ තිබී පොලීසිය සොයාගෙන ඇත. ගමන් බෑගයේ තිබූ හැඳුනුම්පත මගින් මෙම සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන අයෙකු බව තහවුරු කරගත් බව විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහචාර්ය ටෙරන්ස් මදුජිත් කීය.
මෙම දිනවල ඉංජිනේරු පීඨයේ විභාග පැවැත්වෙන බවත් පසුගිය 26 වැනි දින විභාගයට පෙනී සිටීමෙන් පසු සිසුවා නිවසට ගොස් මිතුරන්ටද බත් පාර්සල් තුනක් රැගෙන පැමිණ තිබෙන බව මහාචාර්වරයා පැවසීය.
පාළම අසළ තිබී සොයාගත් බෑගය තුළ එම බත් පාර්සල් තුනද තිබී ඇත. මෙම සිසුවා ආතිතය සඳහා ඖෂධ ලබාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණියේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.







