ඇපල් මිදි තිබෙන්නත් ඉන්ධන නැති වෙන්නත්, පිටරටින් ගෙනන මී පැණි තිබෙන්නත් ඖෂධ නැතිවෙන්නත් හේතුවක් ඇති බවත්, තමන් ද ඇමති වරයෙක්වන ආණ්ඩුව දැන්වත් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගනිමින් සීමිත විදේශ විනිමය විදයම් කිරීම බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.
අද පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“ඇපල් මිදි දොඩම් කාලා කළුවරේ ඉන්නව ද?, පිටරටින් වතුර ගෙනත් බීලා වාහන දුවන්න තෙල් නැතිව ඉන්නවද?, කැප කිරීම් කරලා අත්‍යාවශ්‍ය භාණ්ඩවන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනිම වැය කිරීමේ දී ප්‍රමුඛතාවය දෙනවද? කියන ප්රශ්නය පිළිබඳව මා ද ඇමතිවරයෙක් වන මේ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුමයි.“
“එසේ නොගැනීම නිසාම තමයි ඇපල් මිදි ඇත… තෙල් ටික නැත…, පිටරටින් ගෙනෙන මී පැණි ඇත… ඒත් ඖෂධ නැත…. මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටී… නැත්තේ ඩොලර්ය.“ ඇමතිවරයා රිද්මයානුකූලව කීවේය.
“අප සතු තොග පහත බැහැලා තියනවා. ඒ නිසා ඊලඟ නැව එන තුරු අපට සීමිත තොගයක් තමයි වෙළෙඳපලට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඉන්ධන පිරවුම්හල්වලටත් සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණවලට විතරක් සෑම කෙනෙකුටම ඉන්ධන ලබා දෙන්න.“
“මේ දුෂ්කර මෙහොතෙ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරිමක් සහිතව ඉන්ධන නිකුත් කිරීමක් කරන්නේ.“ ඇමතිවරයා කීවේය.
මේ අවස්ථාවේ දී මාධ්‍ය වෙතින් නැගුනේ ඉන්ධන මිල යනවා ද නැද්ද සම්බන්ධ ප්රශ්නයකි.
මිල වැඩි වෙනවා ද නැද්ද යන්න නෙමෙයි ප්රශ්නය. අපට ඉන්ධන ගෙන්වීමට මුදල් තිබිය යුතුයි. පසුගිය අඟහරුවාදා තිබුණු විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි මුදල් අමාත්‍යාංශය අඛණ්ඩ ඩොලර් සැපයුමක් සහතික වුනා.
නමුත් තවමත් එය මහපොළොවෙ ක්‍රියාත්මක වෙලා නෑ.
මහබැංකුව ඉතිහාසය පුරා තෙල් සංස්ථාවට විශාල සහයෝගයක් ලබා දුන් නමුත් තවදුරටත් එම සහයෝගය ලබා දෙන්නට නොහැකි බව දැනුම් දුන් විට එහි වගකීම මුදල් අමාත්‍යාංශය භාර ගත් ආකාරය බලශක්ති ඇමතිවරයා කීවේය.
“ මේ මාසය තුළවත් ඉන්ධන මිල ඉහළ නොගොස් තිබෙයි ද?“ මාධ්‍ය යළිත් බලශක්ති ඇමතිවරයා විමසුවේය.
“අවිනිශ්ඡිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න බෑ. ඒ විතරක් නොවෙයි, පැය 24ක් මා ජීවත් වේවිද කියලා මට සහතික වෙන්නත් බෑ. ඔබට සහතික වෙන්නත් බෑ, “
“එතරම් අනිත්‍ය ලෝකයේ තෙල් මිල ගැන විතරක් මගෙන් නිත්‍ය ප්‍රකාශ ඉල්ලන් එපා.“
බලශක්ති ඇමතිවරයා ධර්මානුකූල උත්තරයක් දුන්නේය







