රූපවාහිනී සභාපති සොනාල ගුණවර්ධන හා රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨම කලමානාකාරිත්වය අතර ගැටුමක් වර්ධනය වී ඇති බව රූපවාහිනී අභ්‍යන්තර ආරංචි වලින් වාර්තා වේ.
ඒ රූපවාහිනියේ සභාපතිධූරයට අමතරව වැටුප් නොමැතිව යම් කිසි දීමනාවක් මත අධ්යක්ෂ ජනරාල් හා වෙළෙඳ කළමනාකරු යන ධූර දෙක ද ඔහුටම ලබාදෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගෙන් කරන ලද ඉල්ලීමක් ඇතුළු සභාපතිවරයාගේ මගඩි කිහිපයක් නිසා බව වාර්තා වේ.
රූපවාහිනී අධ්යක්ෂ ජනරාල් ජම්පති බණ්ඩාර හීන්කෙන්ද ඇතුළු රූපවාහිනියේ කළමණාකාරිත්වයෙන් තමාට සහය නොලැබෙන බව රූපවාහිනී සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයාට දන්වා ඇති බවත්, අදාළ තනතුරු ලැබුණහොත් තමාට රූපවාහිනිය සය මසකින් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉකුත් මහ මැතිවරණයට තරඟකරන කාලයේ ඔහුගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු බාරව සිටි ප්‍රධානියා වූයේ වත්මන් රූපවාහිනී සභාපතිවරයාය.
රූපවාහිනියේ වැටුප් ගෙවීමට පමණක් මසකට රුපියල් මිලියන 60ක පමණ මුදලක් වැයවන අතර ඉන් මිලියන 40ක් සැපයෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙනි.
එසේ ඉතා අසීරු තත්ත්වයක රූපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබියදී සභාපතිවරයා සිය හිතමිතුරන් තිදෙනෙකුගේ නාට්‍ය තුනක් මිලදී ගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
රූපවාහිනියට නාට්‍ය ගැනීමේදී මින් පෙර තිබූ ක්‍රමවේදයට අනුව මුලින්ම නාට්‍ය පිටපත අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වන අතර, අධ්යක්ෂ මණ්ඩලයේ ලකුණුදීමට අනුව එය A,B හා C යන ශ්‍රේණිගත කිරීමට යටත් කළ යුතුවේ.
පසුව ඒ ශ්‍රේණියේ නාට්‍ය පිටපත රූගතකර එය රූපවාහිනියේ නාට්‍ය මණ්ඩලයෙන් අනුමත කරගතයුතුවේ.
කෙසේවුවද, වත්මන් සභාපතිවරයා විසින් අදාළ කිසිදු ක්‍රමවේදයක් මේවන විට අනුගමනය කර නැතැයි වාර්තා වේ.
ඔහු මෙසේ අලුතෙන් නාට්‍ය ගැනීමට සැරසෙන්නේ මීට පෙර ඉදිරිපත් කරන ලද නාට්‍ය කිහිපයක් පොලිමේ තිබියදීය.
කෙසේවුවද, පසුගිය කාලයේදී නොමේරූ දේශපාලන ඉත්තන් රූපවාහිනියේ සභාපති පුටුවට පත් කිරීමෙන් පසුව රූපවාහිනියේ නාට්‍යයක් විකාශය කිරීමට එහි අධ්යක්ෂ හෝ නිෂ්පාදකගෙන් නාට්‍යක කොටසක් සඳහා රුපියල් 50,000ක් වැනි මුදලක් ලබාගත් අවස්ථාද තිබූ බව රූපවාහිනියේ සේවකයෝ කියති.
එසේම නාට්‍ය පල කිරීමට නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් ඇමතිලාද සිටි බවද ඔවුහු කියති.







