දිනසේන රතුගමගේ –
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සදහා දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියාව වෙත එල්ල කරණු ලබන පීඩනයට සමාන පීඩනයක් ශ්‍රී ලංකා රජයට එල්ල නොකිරීම විශාල ප්‍රශ්නයක් බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා ඊයේ ( 4) දා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ට ප්‍රකාශ කොට තිබේ.
කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේදී ඉන්දීය විදේශ ලේකම්වරයා හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අතර පැවති සාකච්ඡාවේ දී ඉන්දීය විදේශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කොට ඇත.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඉන්දියාව පූර්ණ සහය පල කිරීම නිසා හෝ ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීම නිසා හෝ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉන්දියාවට නොහැකි බව විදේශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.
දෙමළ දේශපාලන පක්ෂ තනි තනිවම ඉන්දීය රජයෙන් මේ ඉල්ලීම සිදු කිරීමට වඩා සියලු දෙමළ දේශපාලන පක්ෂ එක්ව ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමෙන් පළාත් සභා මැතිවරණයක් පවත්වා ගැනීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවද ඉන්දීය විදේශ ලේකම්වරයා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ට ප්‍රකාශ කොට තිබේ.
මේ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර් සම්පන්ධන් මාවෙයි සේනාධිරාජා එම්.ඒ.සුමන්තිරන් ධර්මලිංගම් සිද්ධාර්ථන් හා සෙල්වම් අඩෙයිකලනාදන් සහභාගී වී තිබේ.







