තම දීර්ඝ කාලීන සිර දඬුවම් අඩු කරන සේ ඉල්ලමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිටි සිරකරුවන් දස දෙනෙක් බන්ධනාගාරයේ වහල මත නැගී ඊයේ ( 20) සවස සිට අරඹා ඇති විරෝධතාවය අදත් ක්රියාත්මක වෙමින් තිබේ.
ඔවුන්ට සහයා දැක්වීම සඳහා බන්ධනාගාරයේ සියලුම සිරකරුවන් ඊයේ රාත්රියේ ආහාර වර්ජනය කර ඇතැයි වාර්තා වේ.
මෙම සිරකරුවන් බන්ධනාගාරයේ වහළ මතට නැගී විරෝධතාවය ආරම්භ කරන්නේ සිරකරු දිනය නිමිත්තෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනෙකු ජනපති පොදු සමාව යටතේ පසුගිය දා නිදහස් කළා සේ තමන්ට ද සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.
මෙම විරෝධතාවයට සම්බන්ධ වූ සිරකරුවන් සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර කොමසාරිස්වරයකු ඔවුන්ගේ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉටුකළ නොහැකි බව පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
එම කරුණු දැක්වීම ප්රතික්ෂේප කළ සිරකරුවන් අඛණ්ඩව විරෝධතාවයේ යෙදෙමින් සිටී.
මත්කුඩු ජාවාරම්කරුවන් සහ දරුණු ගණයේ අපරාධකරුවන් බවට අධිකරණය මගින් තහවුරු කර මරණ දඬුවමට සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක් කර සිටින රැඳවියන් 1500ක් පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා ඇතැයි ද වැලිකඩ වහළ මතට නැග ඇත්තේ ඉන් දස දෙනෙක් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මුළු සිරකරුවන් ගණන 2,800 කට ආසන්නය.







