පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත්, දැනුම්වත් විද්වතුන් හා වාස්තු විද්‍යාඥයන් අතුළු උරුමයට ආදරය කරන මේ රටේ ජනතාවත් කළ සියලුම සාධනීය ඉල්ලීම් විනාශ කරමින් මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල කුඩු කර දැමීම අද ( 30) ආරම්භ කළේය.
රටේ අගමැතිවරයා මෙම ගොඩනැගිල්ල කඩා නොදමන ලෙස දෙවන වරටත් උපදෙස් ලබා දුන් බව කීවේ පසුගිය සතියේ දී ය.
ඊට මාස තුනකට පෙරත් අගමැතිවරයා මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරන ලෙස උපදෙස් දුන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදේශක කමිටුව මෙම ගොඩනැගිල්ල ඉවත් කිරීමට යහපාලන සමයේ දී ගත් උත්සාහය වළක්වා තිබිණි.
රටේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙස ඉල්ලා අගමැතිවරයාව ලිඛිතව දැනුම්වත් කර තිබිණි. එයට අගමැතිවරයා අනුමැතිය ලබා දුන් බව කීවේය.
මෙම විනාශයට එරෙහිව පසුගිය සතියේ පුරාවිද්‍යා නිලධාරීහු පොලිසීයෙ පැමිණිල්ලක් සටහන් කළහ.
අද පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට මෙම ගොඩනැගිල්ල ඉවත් කිරීමට එරෙහි විය නොහැකි බවය. එය මධ්‍යම රජයේ තීන්දුවක් ලෙස සිදු කරන බවය.
මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කිරීම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන් සෙනරත් දිසානායක සහ පී. මණ්ඩාවල හිතා මතාම අත්හැර දැමූ බවට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වෙතත් වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මෙය පුරාවිද්‍යා ආඥා පනත යටතේ ආරක්ෂා වන ගොඩනැගිල්ලක් බැවින් ඊට හානි නොකරන ලෙස ලිඛිතව නාගරික සංවර්ධන අධිකාරියට දන්වා තිබේ.
එසේ තිබිය දී රටේ නීතිය නින්දාසහගත ලෙස උල්ලංඝණය කරමින් මෙම විනාශය සිදු කර ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ පවසති.