ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
විෂය භාර අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමග කටයුතු කිරීමට නොහැකි නිසා තමන් ඉල්ලා අස්වන බවයි. රේණුක පෙරේරා මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අරම්භයේ සිටම ක්‍රියාකාරීව සිටි පුද්ගලයකු පවන අතර එම පක්ෂයේ නෙළුම් මාවත කාර්යාලයේ ප්‍රදාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේද සමීපතම පුද්ගලයකු වන රේණුක පෙරේරා ඉදිරි පළාත් සභා මැතිවරණයේ බස්නාහිර මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටද නියමිතව සිටී.
විගණන පරීක්ෂණයකින් වරදකරු වූ පුද්ගලයකුට නිවාස සංවර්ධන අධිකාරියේ වැඩබලන සාමාන්‍ය අධිකාරි ධුරයට පත් කරන ලෙස දිගින් දිගටම බලපෑම එල්ල කිරීම නිසාත් තමා ඊට එකඟ නොවූ නිසාත් සභාපතිවරයා මෙලෙස ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන් වේ.









