ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පොළොන්නරුවේ දී මැයි දිනය සැමරීමට සූදානම් බව වාර්තා වේ.
මෙම පක්ෂ 11 එම තීන්දුව ගෙන ඇත්තේ පොහොට්ටුවේ දේශපාලන පක්ෂ සියල්ල එකතුව කොළඹ දී මැයි දිනය සැමරීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවකය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට එරෙහිව නැගී සිටි අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් යුතු පක්ෂ 11ක් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි රැළියට එකතු වීමේ සාකච්ඡාව ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
සමගි ජන බලවේගයේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රේමදාස ගුණ සමරුවද ඊට සමගාමීව පැවැත්වීමට නියමිතය.
විශේෂත්වය වන්නේ මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියක් නොපැවැත්වීමයි. එක්සත් ජාතික පක්ෂය චාම් ආකාරයට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මැයි දිනය සැමරීමට සැලසුම් කර ඇත. කොවිඩ් 19 හමුවේ ජනතාව කොළඹට ගෙන්වා අවදානමට දැමීමේ සූදානමක් නැතැයි එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත.







