ගල්ෆ් කලාපයේ නැවතත් හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බැවින්, මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් සඳහා වන ඉන්ධන සහනාධාරය නැවත හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී රජය විසින් මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සහනාධාර පැකේජයක් හඳුන්වා දුන් අතර, ගල්ෆ් කලාපයේ තත්ත්වය යහපත් වීමත් සමඟ ජූනි මාසයේදී එය අවසන් කිරීමට පියවර ගැනුණි. කෙසේ වෙතත්, නැවත වරක් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාව මත පැටවෙන බර අවම කිරීම රජයේ අරමුණ වී ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.
මෙම සහනාධාරය නැවත ක්‍රියාත්මක වුවහොත්, දැනට පවතින ඉන්ධන මිල ගණන් තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට හැකි වන අතර ඉන් සිදුවන අතිරේක පිරිවැය රජය විසින් දරා ගනු ඇත. මීට පෙර ලබා දුන් සහනාධාරය යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක් බැගින් රජය සහන සැලසූ අතර, ඒ සඳහා රුපියල් බිලියන 57 ක මුදලක් වෙන් කර තිබුණි.
“පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ ගියහොත් එය මහජනතාවට දරාගත නොහැකි බරක් වන බැවින්, මෙම සහනාධාරය නැවත හඳුන්වා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යැයි එම නිලධාරියා සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබිනි.
ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේදී පවතින මිල මට්ටම් එලෙසම පවත්වා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා බවත්, නමුත් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් දිගින් දිගටම ඉහළ ගියහොත් මිල වැඩි කිරීමක් වළක්වා ගත නොහැකි වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත. පසුගිය සතිය තුළ පමණක් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 14% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
“අපට සිදුවනවා තත්ත්වය දෙස බලා ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ තීරණයක් ගැනීමට. නමුත් සහනාධාරය නැවත ලබා දීමෙන් මිල පාලනය කර ගැනීමට යම් පිටුවහලක් ලැබේවි,” යැයි ඔහු වැඩිදුරටත් කියා තිබේ.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ රුසියානු රජයට සම්බන්ධ සමාගම් දෙකක් බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ලියාපදිංචි වී ඇත. රුසියානු සමාගම් මෙරට තෙල් වෙළෙඳපොළට පිවිසීමත් සමඟ වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වයක් නිර්මාණය වන අතර, එය ද දේශීය වශයෙන් මිල ස්ථාවර කර ගැනීමට මහෝපකාරී වනු ඇතැයි එම නිලධාරියා විශ්වාසය පළ කළේය.







