ඉඳුනිල් කහටපිටිය –
පළමු තරගයේ දී අන්ත පරාජය දරාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම යලි නැගී සිටින ආකාරයක් පෙනේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් කොදෙව් පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර ඇත. ඉන් අනතුරුව පන්දු යැවීමේදී ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වී ඇත.
ඊයේ සන්ධ්‍යාවේ තරගය නතර කරන විට, සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබාගෙනය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවමත් ලකුණු 491ක් පසුපසිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 549ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. අයළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ස්වකීය වගකීම ඉටු කරනු පෙනුනි. ඊයේ දිනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ තමන් වෙත නතු කරගත්හ. කණ්ඩායම පළමු දිනයේ ලබා සිටි ස්ථාවර භාවය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දෙවැනි දිනයේදී තවත් ලකුණු 211ක් ලකුණු පුවරුවට එකතු කිරීමට මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූයේ කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ ය. ඔවුන් දෙදෙනා පන්දු 246කදී ලකුණු 143ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ.

මෙහිදී දෙදෙනාම අර්ධ ශතක පසු කළ අතර, සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය පෙනි පෙනී ලකුණු 92කට දැවී ගියේය. ඔහු පන්දු 166කදී හතරේ පහරවල් 12ක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව රැස් කළේය. කුසල් මෙන්ඩිස් පන්දු 115ක දි හතරේ පහර 08ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු 69ක් රැස් කළේය.
දිවා ආහාරයෙන් පසු වේගවත් වූ ශ්‍රී ලංකා ඉනිම
ඊයේ උදෑසන කාලයේදී තරගය තරමක් මන්දගාමී ස්වභාවයක් පෙනුනි. දිවා ආහාරය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 64ක් පමණි. නමුත් එහි සැඟවුන අධිශ්ඨානයක් සහ විනයක් තිබිණි. මේ කාල සීමාව තුළ ඔවුන් එකම කඩුල්ලක්වත් ලබා දුන්නේ නැත. කුසල් සහ දිනූෂ තරගයේ ස්වරූපය තීරණය කරන මේ කාලය තුළ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් පරීක්ෂාවකට ලක් කරමින් ඉනිම ගොඩනැගූහ.
ඉන්පසු එළඹි සන්ධ්‍යා කාලයේදී ක්‍රීඩා විලාශය සම්පූර්ණයෙන්ම වෙනස් විය. පන්දුවාර 12ක් ඇතුළත ලකුණු 69ක් උදුරා ගැනීමට කුසල් මෙන්ඩිස් ප්රමුඛ පිතිකරුවෝ සමත් වූහ.
පෙනෙන හැටියට තරගයේ වාසනාවත් ශ්‍රී ලංකා කණ්ඩායම අතේය. පළමු දිනයේ දී ලහිරු උදාර ලබා දුන් පහසු උඩපන්දුව පළමු සහ දෙවැනි ස්ලිප් ක්‍රීඩකයින්ගේ අවිඥානිකබව නිසා ගිලිහී ගියේය. ලකුණු 57 දී ඔහු ලබා දුන් උඩපන්දුව ගිලිහී යෑමෙන් පසු උදාර නැවතුනේ ලකුණු 188ක ය. කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේ මුල් භාගයේදී ලකුණු 23ක් ලබා සිටියදී ජෝන් කැම්බල් අතින් උඩපන්දුවක් ගිලිහී යෑමෙන් පිටියේ රැඳී සිටීමේ වරම් ලැබුවේය. ඉන් පසු ජයිඩන් සීල්ස්ගේ පන්දුවකට කුසල් එල්ල කළ ‘ස්කූප්’ පහරක් ෂායි හෝප් අතින් ද ගිලිහී ගියේය. ඉන් අනතුරුව අල්සාරි ජෝසප්ට එල්ල කළ හයේ පහරක් සහ හතරේ පහරවල් කිහිපයකින් මෙන්ම රොස්ටන් චේස්ට එල්ල කළ ප්රහාරයන්ගෙන් කුසල් ලකුණු වේගය ඉහළ දැමීය. ඔහු ලකුණු 69ක් ලබා සිටිය දී දැවී ගියේ මීට වැඩි අවස්ථාවක් ලබා ගැනීමට ඇති ඉඩ විසිකර දමමිනි. ඇන්ඩර්සන් පිලිප්ගේ පන්දුවකට නැවතත් ‘ස්කූප්’ පහරක් එල්ල කිරීමට ගොස් කඩුල්ල කුඩු කරගෙන කුසල් මෙන්ඩිස් දැවී ගියේය.
කුසල්ගේ දැවී යාමෙන් පසු ලකුණු වේගය තරමක් අඩු වුවද, දිනූෂ සහ මිලාන් රත්නායක එක්ව ලකුණු 36ක සබඳතාවක් පැවැත්වූහ. අනතුරුව කොදෙව් නායක රොස්ටන් චේස් විසින් පන්දු යැවීමට කැඳවූ දඟ පන්දු යවන ක්‍රීඩක කවෙම් හොජ්ගේ පන්දුවක් හමුවේ සොනාල් දිනූෂ උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.
තේ පානයෙන් පසුව ප්‍රභාත් ජයසූරිය සහ මිලාන් රත්නායක නිදහසේ ලකුණු රැස් කිරීමට පටන් ගත්හ. ඔවුන් දෙදෙනා වේගයෙන් පිත්ත ක්‍රියාත්මක කරමින් ලකුණු 20ක සබඳතාවක් පැවැත්වූහ. මිලාන් රත්නායක ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගිය අතර, නවක ක්‍රීඩක ඉසිත විජේසුන්දර ද හොජ්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් කෙටි නමුත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා නායකයා ඉනිම අත්හිටුවීමට තීරණය කළේය
කොදෙව් ඉනිමේ ආරම්භය සහ ගිලිහී ගිය අවස්ථා
ලකුණු 549ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ බ්‍රැන්ඩන් කින් සහ ජෝන් කැම්බල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවයක් පැවැත්වූහ. එහිදී ශ්‍රී ලංකා පිලේ නවක පන්දු යවන ක්‍රීඩක ඉසිත විජසුන්දර යැවූ පන්දුවාරයකට ලකුණු 12ක් ලබා ගැනීමට බ්‍රැන්ඩන් කින් සමත් විය. කෙසේ වෙතත්, අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කින්ගේ පිත්තේ වැදී ආ පන්දුව දෙවැනි ස්ලිප් කලාපයේ සිටි කමිඳු මෙන්ඩිස් විසින් උඩපන්දුවක් ලෙස දක්ෂ ලෙස රැක ගැනීමත් සමඟ කොදෙව් පළමු කඩුල්ල බිඳ වැටුණි.
දිනය නිමා වන විට ජෝන් කැම්බල් පන්දු 77කදී ලකුණු 31ක් සහ කවෙම් හොජ් පන්දු 41කදී ලකුණු 6ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියහ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ඊයේ දිනයේ අවසන් භාගයේදී උඩපන්දු කිහිපයක් ගිලිහී යාම කැපී පෙනුණි. ඉන් අවස්ථා දෙකක් ලබා දුන්නේ කවෙම් හොජ්ය. , එක් අවස්ථාවක් ජෝන් කැම්බල් ය.
කැම්බල් ලබා දුන් අපහසු උඩපන්දුව හඹා ගිය ඉසිත විජසුන්දරට එය රැක ගැනීමට නොහැකි විය. සොනාල් දිනූෂට හොජ් ලබා දුන් උඩපන්දුවක් ඇඟිලි තුඩුවල වැදී ගිලිහී යන්නට හැරියේය. වඩාත්ම පහසු උඩපන්දුව ගිලිහී ගියේ ලහිරු උදාර අතිනි. මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේ පිත්තේ වැදී ආ පන්දුව දෙවැනි ස්ලිප් කලාපයේ සිටි උදාර අතින් ගිලිහී ගියේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ අත්වැසුම් නිසා ඔහුගේ පෙනුමට බාධා වීම හේතුවෙනි.
මේ උඩ පන්දු ගිලිහී යෑම කිසිසේත්ම සුබ දායක නැත. ටෙස්ට් තරගයක දී ගිලිහී යන එක් අවස්ථාවක් කෙළවර වන්නේ කිසිසේත්ම අපේක්ෂා නොකරන අවසානයකිනි. එහෙත් තවමත් තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම සතුවය. අපේක්ෂා සහගතව තුන්වන දිනය ගැනත් බලාපොරොත්තු තබා ගත හැක්කේ එබැවිනි.









