උපේක්ෂා උඩුවැරැල්ල –
හොරණ, අඟුරුවාතොට, බටගොඩ ගල්පාත ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් හදිසි ගින්න බොහෝ සංවේදි මිනිස්සුන්ගේ හදවත් දවා ඇත.
අසරණ වැඩිහිටියන් රැඳී සිටි වැඩිහිටි නිවාසය මුලුමනින්ම පාහේ දැවී අලු වී ඇත. හදිසියක දී පිටවීමටවත් හැකියාවක් නැති අසරණ අම්මලා සහ තාත්තලා 11 දෙනෙක් දැවී මිය ගොස් ඇත. වාර්තා වන්නේ ඔවුන්ගේ සිරුරු හඳුනා ගත නොහැකි තරමට පිලිස්සී ඇති බවය. හත් දෙනෙක් ගින්නෙන් පිලිස්සුම් තුවාල සහිතව හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන්නේය. තවත් තුන් දෙනෙකුට සිදුවුයේ කුමක් දැයි සොයා ගත නොහැකි වී ඇත.
සෙනෙහෙසේ කැදැල්ල පවත්වාගෙන ගොස් තිබුණේ පුද්ගලික ආයතනයක් ලෙසය. එම ආයතනයේ වැඩිහිටියෝ 72ක් රැඳී සටියහ. ඇතැමෙක් මානසික ආබාධ සහිත උන්ය. මේ 72කක සංඛ්‍යාවෙන් 51 දෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබිණි. ඔවුන් දැන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇතැයි පොලිසිය කීවේය. මිය ගිය අය 11කි. තුවාල ලැබ රෝහල් ගත කළ අය 07කි. ඒ අනුව 69ක් දෙනා ගැන තහවුරුය. රැඳී සිටි 72ක ප්‍රමාණයෙන් 03 දෙනෙක් අඩු වී ඇත.
මේ අඩු වූ තුන් දෙනා සුන් බුන් අතර සිරවී සිටින්නේ ද, නැතහොත් මේ තදබල භීෂණකාරී අවස්ථාවේ දී බියපත්ව පලා ගියේ ද යන්න පිළිබද නිශ්චිත අවබෝධයක් තවමත් විමර්ශන අංශ වෙත නැත.

ගින්න පාලනය –
පොලිසිය, ගිනි නිවීමේ භටයින් (ගිනි නිවීමේ රථ 3ක් යොදවා) සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණ ද, ගින්නෙන් මධ්‍යස්ථානයට සම්පූර්ණයෙන්ම වගේ විශාල හානි සිදුවී ඇත.
ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් සිටියහ. බරපතළ තත්ත්වයේ සිටි තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය. .
සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව, මළ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධියට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.









